මිලානෝහි ශ්‍රී ලාංකික පුතෙකු භූතාරුඪයෙන් මව මරලා

ඉතාලියේ මිලානෝ නගරයේ පිහිටි සිය නිවස තුළ දී ශ්‍රී ලාංකික කාන්තාවක ඝාතනය කළේ යැයි කියන ඇයගේ 24 හැවිරිදි පුතා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉතාලි මාධ්‍ය වාර්තා කර ඇත.

ඉතාලි මාධ්‍ය වර්තාකර ඇති අන්දමට මෙම ඝාතනය  සිදුකර ඇත්තේ ඉකුත් 15 වැනිදාය. මෙසේ ඝාතනය කර ඇත්තේ නාත්තන්ඩිය මාරවිල මුදුකටුවේ පදිංචිව සිටි දමයන්ති රත්නායක නමැති 54 හැවිරිදි  කාන්තාවකි. මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ දමයන්ති මහත්මියගේ 24 හැවිරිදි පුතාය.  තමාගේ සිරුරට ආරූඪ වී සිටින භූතයකු විසින් මව මරා දමා ඇති බව සැකකරු අවට සිටි අයට කෑ ගසා පවසා ඇති බව ඉතාලියේ මිලානෝ පදිංචි ශ්‍රී ලාංකිකයෝ කිහිප දෙනෙක් මේ සම්බන්ධයෙන් තොරතරු හෙළිකරමින්  පැවසූහ.

දමයන්ති මහත්මිය රැකියාව කරන නිවසේ සිට සිය පුත්‍රයාට දිවා ආහාරය ද රැගෙන ඇය පදිංචිව සිටින නිවසට පැමිණි අවස්ථාවේ මෙම අපරාධය සිදුකර ඇති බව මිලානෝහි පදිංචි එම ශ්‍රී ලාංකිකයෝ වැඩිදුරටත් කීහ. දමයන්ති මහත්මියගේ පුතා මෙරට සිටිය දී නාත්තන්ඩිය ප්‍රදේශයේ පිහිටි දේවාලයකට සම්බන්ධ වී කටයුතු කරමින් සිටි බව ද කියති.  පසුකාලයක මොහු තමාගේ සිරුරට භූතයකු ආරූඪ වී ඇති බව කියා නීතිපතා නිවසේ පහනක් දල්වා එම භුතයාට බව කියමින් වැඳුම් පිඳුම් කර ඇති බව ද වාර්තාවේ. ඉතාලියේ සිටින ඔහුගේ මව (දමයන්ති) පසු කාලයක සිය පුත්‍රයාව ඉතාලියට ගෙන්වා ගෙන ඇත.

ඔවුන්ගේ පවුලට සම්බන්ධ ඥාතීහු කිහිප දෙනෙක් තොරතුරු  හෙළි කළහ. සිය මව සමග ඉතාලියේ සිටිය දී ද තමාගේ ශරීරයට ලෙස හැසිරී ඇති බව ද ඉතාලියේ ඔවුන් සම්බන්ධ සමීප ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත. දමයන්ති මහත්මියගේ මෙම පුතා මෙම වසරේ ජනවාරි මාසයේ දී කෙටි නිවාඩුවකට මෙරටට පැමිණ තිබේ. කෙටි නිවාඩුවක් ගත කිරීමට පැමිණි අවස්ථාවේ දී මොහු තමාගේ ශරීරයට භූතයකු ආරූඩ වී ඇති බව කියමින් ඒ භූතයා වෙනුවෙන් බව කියමින් නිවසේ පහනක් දල්වා ඇති බව ද වාර්තාවේ.

මේ බව දැනගත් මව සිය පුත්‍රයා යළි කඩිනමින් ඉතාලියට ගෙන්වා ඇති බව ද කියති. ඉතාලියට පැමිණීමෙන් පසු ද තමාගේ ශරීරයට භූතයකු ආරූඪ වී යම් යම් බලපෑම් කරන බව කියමින් ඔහු අසාමාන්‍ය ලෙස හැසිරී ඇති බව ඉතාලි ආරංචි මාර්ග සඳහන් කරයි. දමයන්ති මහත්මිය ඉතාලියේ රැකියාවක් සඳහා ගොස් ඇත්තේ මීට වසර 15කට පමණ පෙර බව සඳහන් වේ. ඇයගේ සහෝදර සහෝදරියන් ද ඉතාලියේ රැකියාවල නිරතව සිටින බව ඉතාලි ආරංචි මාර්ග පවසයි.

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)