ගෝඨාගේ පාක්ෂිකයන්ට පැල්මඩුල්ලේදී පහරදීමක්

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක  ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහභාගිවූ රැස්විමකට  එක්ව ආපසු යන්න සුදානම් වූ පාක්ෂික පිරිසකට පැල්මඩුල්ල නගරයේ දී පහරදී තුවාල සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට පත් පැල්මඩුල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා මේ මස 28 දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් රසාංජලා පෙරේරා මහත්මිය ඊයේ (17)   නියෝග කළාය.

මෙසේ රිමාන්ඞ් භාරයට පත් කෙරුණේ පැල්මඩුල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙක් වූ එක්සත් ජාතික පක්ෂය  නියෝජනය කරන එල්.පී. ජයන්ත යන අයයි.

මෙය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක  ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ආධාර පිණිස පසුගිය 16 දා සවස පැල්මඩුල්ල නගරයේ පැවැත්විණි. එම පක්‍ෂයේ මාරපන කලාපයේ හකමුව ග‍්‍රාමයේ පාක්‍ෂිකයන් පිරිසක් ද ඊට සහභාගිව සිටියේය.

ඔවුන් පෞද්ගලික බස් රථයකින් පැමිණ තිබුණි. බස් රථය පැල්මඩුල්ල නගරයේ තැපැල් කාර්යාලය අසල පාරේ ගාල් කර තිබි ඇත. රැස්විම  අවසන්ව පස්වරු පහත් හයත් අතර කාලයේ ගම්බිම් බලා පිටව යාමට බස් රථයෙන් පැමිණි පිරිස බස් රථය බලා යන්නට සූදානම් වෙද්දී පැල්මඩුල්ල නගරයේ බෝධිය අසලදී අතින් පයින්, පොලූ මුගුරුවලින් පහර දී තිබේ. ඉන් බරපතළ  තුවාල ලැබූ දෙදෙනක් පැල්මඩුල්ල රෝහල වෙත ඇතුල් කර තිබුණි. එක් අයෙක් වැඩිදුර ප‍්‍රතිකාර සදහා කහවත්ත රෝහලට ද මාරු කර තිබුණි.

පහරදුන් පිරිස සහ සිද්ධිය සම්බන්ධව  පැල්මඩුල්ල පොලීසිය  පැමිණි පරික්ෂණ කරනු ලැබිණි. පැල්මඩුල්ල පොලිස්ථානාධිපතිවරයාගේ උපදෙස් පරිදි සැකකාර හිටපු සභාපතිවරයා එදින රාත‍්‍රියේම අත්අඩංගුවට ගනු ලැබිනි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ පොලීසිය මෙම පහරදීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිටින බවද පැවසීය. එහෙත් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මෙම සැකකරු සිද්ධියට සම්බන්ධ  නැති බවත්, දේශපාලන පළිගැනිමේ චේතනාවෙන් මෙම අත්අඩංගුවට ගැනීම කර ඇති බවත්  පැවසීය. පොලීසිය  එය ප්‍රතික්ෂේප  කළේය. පැමිණිල්ලේ විමර්ශන අනුව සහ පොලීසියට ලද ප‍්‍රකාශ සැලකිල්ලට ගෙන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය  අවධාරණය කළේය. ඒ අනුව මහේස්ත‍්‍රාත්වරිය සැකකරු 28දා තෙක් රිමාන්ඞ් භාරයේ තැබිමට නියම කළේය.

මේ අතර 2019 ජනාධිපතිවරණ පූර්ව සමයේ පළමු මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාව මෙය බව මැතිවරණ නිරීක්‍ෂණ කණ්ඩායම් වාර්තා කර තිබුණි.