විජයදාස රාජපක්ෂගෙන් රට පුරා අඩබෙර වැයුමක්

ඉදිරි ජනාධිපතිවරණයේ දී තමාගේ සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂයේ සාමාජිකයින් සහ විජයදාස රජපක්ෂ මහතා එක්ව පවත්වන විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට පැවැත්වෙයි.

ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ය.

එහිදී ඉදිරි ජනාධිපතිවරණයේ දී තමාගේ සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට කටයුතු කරන බව විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේය.

කිසිවෙකු සමඟ දේශපාලන ප්‍රශ්නයක් තමාට නොමැති බව පවසා සිටි මන්ත්‍රීවරයා, තමා දේශපාලනයෙන් යැපෙන්නේ නැති බවද මෙහිදී පැවසීය.

තමා දේශාපලනයෙන් ජීවත් නොවන බවත් කියා සිටි ඒ මහතා, තමාට පමණක් නොව රටේ සිටින සෑම පුද්ගලයෙකුගේම යුතුකම හා වගකීම වන්නේ, සියලු ප්‍රශ්නවලට පෙර රට ආරක්ෂා කර ගැනීම බවද කියා සිටියේය.

ඒ සඳහා මෙම ජනාධිපතිවරණයේ දී නිවැරදි තීරණය ගත යුතු බවත්, එයට ඇති එකම විකල්පය ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම මැතිවරණයෙන් ජයග්‍රහණය කරවීම බවද පැවසු විජයදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දෙන බව රට වටේම ගොස් ඡන්දය අවසන් වන තුරු පවසන බව ද පැවසීය.