ලෝක ශූරයන්ට ජය

සංචාරක ඔස්ට්‍රේලියා පිල හා ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තරගාවලිය ජය ගැනීමට ලෝක ශූර ඔස්ට්‍රේලියාව සමත් වෙයි. පළමු විස්සයි20 තරගය ජය ගත් ආකාරයෙන් නොව, ශ්‍රී ලංකා පිලේ සටන්කාමිත්වය මැද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති දෙවැනි විස්සයි20 තරගය පන්දු 13ක් ඉතිරිව තිබියදී කඩුලු 3කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියානුවෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනාගත් ඇරොන් ෆින්ච් මුලින් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේ කඩුලු 9කට ලකුණු 124ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ සටහන් විය. එය ඕවරයකට දළ ලකුණු ලබා ගැනීමේ ඉලක්කගත වේගය 6.20ක් වූ අතර ඔස්ට්‍රේලියානුවන් තරගය නිමා කළේ ඕවර 17.5කදී කඩුලු 7ක් අහිමි කර ගනිමිනි. ජයග්‍රහණය වාර්තා වෙද්දී ඔස්ට්‍රේලියාවේ දල ලකුණු වේගය 7.06කි.

ශ්‍රී ලංකා ඉනිම අඩු ලකුණු ගණනකට සීමා වීම හේතුවෙන් පන්දු යවන්නන්ට දැඩී පීඩනයක් එල්ල වී තිබුණද ඔස්ට්‍රේලියා මුල් පෙළේ පිතිකරුවන්ට රිසි සේ පන්දුවට පහර දීමට නොහැකි වන සේ සටන්කාමී ක්‍රීඩා විලාශයක් දක්නට ලැබිණි. නිමා වූ අයිපීඑල් තරගාවලියේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ඔස්ට්‍රේලියානුවන්ට දැඩි බලපෑමක් එල්ල කරමින් කඩුලු 4ක් දවා ගැනීම කැපී පෙනිණි. වනිඳු මේ වන විට විස්සයි20 තරග 37කදී කඩුලු 61ක් දවාගෙන සිටින අතර එයින් 11ක්ම ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ය.

ඔහුගේ සිව්වැනි පන්දු ඕවරයේ පිට පිට මැක්ස්වෙල්ගේ හා අගාර්ගේ කඩුලු දෙක දවා ගැනීමෙන් ශ්‍රී ලංකාව පැත්තට වාසිදායක තත්ත්වයක් නිර්මාණය වූවේය. එහෙත් මැදපෙළ පිතිකරු මැතිව් වේඩ් කඩාවැටෙන ඉනිමට සවිමත් මුක්කුවක් වෙමින් පන්දු 26කදී හතරේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 26ක් රැස් කර තරගය ජය මාවතට ගෙන ගියේය. ඔහුට අනගි සහායක් දුන් ජායී රිචර්ඩ්සන් නොදැවී ලකුණු 9ක් රැස් කළේය.

ඔස්ට්‍රේලියා පිලේ නායක හා ආරම්භක පිතිකරු ඇරොන් ෆින්ච් ලකුණු 24කට දවා ගැනීමට වනිඳු හසරංග සමත් වූ අතර, අංක එක පිතිකරු මිචෙල් මාෂ් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට යළි ක්‍රියාත්මක වූ හසරංගට හැකියාව ලැබිණි. ස්ටීව් ස්මිත් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමට වේග පන්දු යවන නුවන් තුෂාර සමත් වෙද්දී ඔස්ට්‍රේලියා ලකුණු පුවරුව කඩුලු 3කට ලකුණු 58ක් වූවේය. ශ්‍රී ලංකාවට දිගින් දිගටම පහර එල්ල කළ ඩේවිඩ් වෝනර් ලකුණු 21ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමට හසු කර ගැනීමෙන් තරගය ශ්‍රී ලංකාව පැත්තට දෝලනය විය.

ශ්‍රී ලංකා ඉනිමේ හොඳම සම්බන්ධතාව ගොඩනැඟූ චරිත් අසලංක හා කුසල් මෙන්ඩිස් තෙවැනි කඩුල්ලට ලකුණු 66ක් එක් කිරීම යම් සැනසිල්ලක් විය. චරිත් අසලංක පන්දු 33කදී හයේ 2ක් හා හතරේ 2ක් සමඟ ලකුණු 39ක් රැස් කර සිටියදී මැක්ස්වෙල්ගේ පන්දුවකට යෝධ පහරක් එල්ල කිරීමට උත්සහ කළ අතර තණතිල්ල ආසන්නයේම පන්දුව ඉහළ නැගීමෙන් ‘මිඩ් ඕෆ්’ හි සිටි නායක ෆින්ච් උඩ පන්දුවක් ලෙස එය පහසුවෙන් රැක ගත්තේය.

පළමු තරගයේදී අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් ඊයේ හොඳින් පන්දුවට පහර දුන් අතර ජායී රිචර්ඩ්සන්ගේ පන්දුවකට ‘පුල් පහරකට’ ගිය අතර කුරුමානම වැරදී විකට්ටුව අසල සමබරතාව ගිලිහී ගොස් පිත්ත කඩුල්ලේ වැදී ලකුණු 36කට දැවී ගියේය. මෙන්ඩිස් පන්දු 36කදී යෝධ හයේ පහරක් හා හතරේ පහර 2ක් සමඟ එම ලකුණු එක් කර ගත්තේය.

භානුකට හා දසුන්ට විශාල සම්බන්ධතාවක් ගොඩනැඟීමට නොහැකි වීමෙන් දළ ලකුණු වේගය පහළ ගියේය. අයිපීඑල් පිටියේ දස්කම් දැක්වූ භානුක ලකුණු 13කට දැවී ගිය අතර, නායක දසුන් ලකුණු 14ක් රැස් කර සිටියදී ක්‍රීඩාගාරයට හරවා යැවිණි. වනිඳු හසරංග ලකුණු 12කට 6 වැනි කඩුල්ල ලෙස දැවී යෑමෙන් අනතුරුව ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් ලකුණු 4ක් පමණක් එක් විය.

තරගයේ පළමු ඕවරයේ 5 වැනි පන්දුවේදීම මැක්ස්වෙල්ගේ පන්දුවකට ස්වීප් පහරක් එල්ල කළ ධනුෂ්ක ගුණතිලක ස්මිත් වෙත උඩ පන්දුවක් දී ලකුණු 4කට දැවී ගිය අතර පැතුම් නිස්සංකට ඊයේ දවස යහපත් නොවූයෙන් ලකුණු 3කට දැවී ගියේය.

ඔස්ට්‍රේලියා පිල පළමු තරගයට ක්‍රීඩා කළ මිචෙල් ස්ටාර්ක් වෙනුවට වේග පන්දු යවන ජායී රිචර්ඩ්සන් ඊයේ තරගයට කඳවා තිබූ අතර ඔහු තම විස්සයි20 තරග බිමේ හොඳම පන්දු යැවීම සටහන් කරමින් ලකුණු 26කට කඩුලු 3ක් දවාගත් අතර කේන් රිචඩ්සන් ද හොඳම පන්දු යැවීම සටහන් කරමින් ලකුණු 30කට කඩුලු 4ක් බිඳ හෙළීය.

දෙපිල අතර, තෙවැනි හා අවසන් විස්සයි20 තරගය මේ 14 වැනිදා පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.