මෙරට බෙහෙත් හිඟයට පිළියම් සොයන්න “AUSLMAT ” ප්‍රමුඛ ශ්‍රී ලාංකිකයෝ පෙළගැසෙති

ශ්‍රී ලංකාව තුළ වර්තමානයේදී මතුවී ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් රෝහල්වල ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයක් පවතින බවද ඒ නිසා රෝගීන් අනාරක්ෂිත තත්වයකට පත්ව ඇති බැවින් මෙම අවාසනාවන්ත තත්වය මඟහරවා ගැනිම සඳහා වෛද්‍ය ආධාර සපයන ලෙස ඉල්ලා මෙරට වෛද්‍යවරුන් කිහිපදෙනෙක් විසින් විදෙස් රට වලින් ඉල්ලීම් කරන ලද බවට දැනගන්නට ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස ඕස්ට්‍රේලියාවේ ස්ථාපිත “ඔස්ලමැට්” (AUSLMAT – Australia Sri Lanka Medical Aid Team) සංවිධානය ශ්‍රී ලංකාවේ මෙම ඉල්ලීම් සළකා බලා අවශ්‍ය බෙහෙත් සහ වෛද්‍ය උපකරණ ලබා දීමට එකඟතාව පළකර තිබේ.
කෙසේ වෙතත් මෙසේ ශ්‍රී ලංකාවට ලබාදිමට බලාපොරොත්තු වන වෛද්‍ය ආධාර “ඔස්ලමැට්” සංවි‍ධානය මඟින් සෘජුවම අදාළ රෝහල් වෙතම ලබාදීමට කටයුතු කරන බවද ඕස්ට්‍රේලියාවේ “3ZZZ” ගුවන්විදුලියේ නිවේදකයෙකු වන විජය කරුණාසේන මහතා මෙම ලියුම්කරු සමඟ පැවැසීය.
කොවිඩ්-19 වසංගත තත්වය හමුවේද ශ්‍රී ලංකාවට වෛද්‍ය ආධාර ලබා දෙමින් සහයෝගය දැක්වීමට මෙම “ඔස්ලමැට්” සංවිධානය විසින් මහඟු සේවාවක් ඉටුකරන ලද අතර වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණදී ඇති අර්බුදයෙන්ද ගොඩ ගැනීමට කළයුතු කාර්යභාරය සම්බන්ධව “ඔස්ලමැට්” සංවිධානය මේ වනවිටත් මෙරට වෛද්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවද පැවැසේ.
මේ සම්බන්ධව ඔස්ලමැට් සංවිධානයේ සභාපතිනිය වන විශේෂඥ වෛද්‍ය ඉරෝෂා ප්‍රේමරත්න මහත්මිය සමඟ “3ZZZ” ගුවන්විදුලියේ නිවේදක විජය කරුණාසේන පසුගියදා (17දා) පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව මෙසේ පළකරමි.

ප්‍ර. ශ්‍රී ලංකාවේ රෝහල්වල ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයක් ඇති බව පවසමින් උපකාර ඉල්ලා සමහර වෛද්‍යවරුන් පණිවිඩ එවනවා. නමුත් ශ්‍රී ලංකා රජය පවසන්නේ එබඳු හිඟයක් නොමැති බවයි. මේ පිළිබඳව ඔබ කළ සොයා බැලීම් වලින් දැනගන්නට ලැබුණ සැබෑ තත්වය කුමක්ද?
පි. ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් රජයේ රෝහල්වල ඖෂධ සහ උපකරණ වල හිගයක් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් මීට සුමානයකට පමණ කළින් නිල නිවේදනයක් නිකුත් කළා. ඊට පසුව ශ්‍රී ලංකා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් අප්‍රේල් 12දා ප්‍රකාශයක් නිකුත් කළා එබදු හිඟයක් නැහැ කියලා. නමුත් මමත් ශ්‍රී ලංකාවෙ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ කතා කළා.ඒ වාගේම වෙන රටවල අයත් කතා කරන්න ඇති, විමර්ශනය කරන්න ඇති. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පෙර කළ එම නිවේදනය ඉල්ලා අස්කර ගත්තා කියල ඊට පසු දවසෙම ඔවුන්ම තවත් නිවේදනයක් නිකුත් කරල තිබුණා.
කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වාර්තා අනුව ස්ථිර වශයෙන්ම රජයේ රෝහල් වල ඖෂධ සහ උපකරණ හිගයක් තිබෙනවා. සති දෙකකට කළින් මෙල්බර්න් වල ශ්‍රී ලංකා කොන්සියුලේට් කාර්යාලයෙන් නිල වශයෙන් පිට රටවලින් ඉල්ලීමක් කරල තිබුණ වෛද්‍ය ආධාර කරන්න කියල.

ප්‍ර. කොවිඩ් වසංගත සමයේදී ශ්‍රි ලංකාව තුළ තිබූ ඖෂධ සහ උපකරණ වල හිගය පිරිමසා ගැනීම සදහා ඔබගේ මූලිකත්වයෙන් ඔස්ලමැට් සංවිධානයෙන් ශ්‍රී ලංකාවට විශාල වශයෙන් බෙහෙත් සහ උපකරණ පරිත්‍යාග කළා. මෙල්බර්න් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සහ තවත් අයගේ උපකාර සහිතව. දැන් ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන තත්වය කළින් කොවිඩ් වසංගත තත්වය පැවැති කාලය හා සංසන්දනය කරන්න පුළුවන්ද ?
පි. ගිය අවුරුද්දෙ අගෝස්තු-සැප්තැම්බර් වගේ කාලයේ ලංකාවෙ කොවිඩ් තත්වය උදාවූ අවස්ථාවෙ ප්‍රශ්නය වුනේ ගොඩක් උපකරණ වල හිගයක් තිබුණා. ඇත්තටම එම තත්වය උඩ මුළු ලෝකයේම වගේ වෛද්‍ය උපකරණ වල හිගයක් තිබුණා. අපිට විශේෂයෙන්ම සිදුවුණේ ඕස්ට්‍රේලියාව වගේ රටවලින් එම උපකරණ ලංකාවට යැවීමටයි. බෙහෙත් වල එතරම් හිගයක් දැනගන්න ලැබුණෙ නැහැ. ලංකාව ඒක කෙසේ හෝ කලමනාකරණය කරගත්තා. නමුත් දැන් මතුවී ඇති තත්වය ඊට වඩා වෙනස්. හේතුව ලංකාවට අවශ්‍ය බෙහෙත් හා උපකරණ සැපයීම අඩාල වෙලා. ඒක අදාළ සමාගම් වලින් ඇතිකරපු ප්‍රශ්නයක් නොවෙයි. ශ්‍රී ලංකා රජයට ආදායමක් නැතිකම නිසා මුදල් ගෙවීමේ නොහැකියාවක් තමයි තිබෙන්නෙ. සෞඛ්‍ය අමාත්‍යංශයට අවශ්‍ය දේවල් ඇණවුම් කළාට දැනට ඒවාට මුදල් ගෙවන්න බැරිවයි ඉන්නෙ.

ප්‍ර. මෙම තත්වය යටතේ ශ්‍රී ලංකාවේ වෙසෙන අසරණ රෝගීන් වෙනුවෙන් අපිට කළහැක්කේ කුමක්ද ?
පි. මේ ප්‍රශ්නය පිළිබදව අපි හරියටම දැනුවත් වුණේ සතියකට කළින්. මේ සුමානය ඇතුළත අපේ ඔස්ලමැට් සංවිධානයට ගොඩාක් ඉල්ලීම් ආවා. ලංකාවෙ රජයේ රෝහල් කිහිපයකින්ම මට කතාකරල ඒ ගොල්ලන් මුහුණ දී තිබෙන ගැටළු කිව්වා. ඒ කියන්නෙ උදාහරණයක් විදියට සමහර රෝහල් වල ශල්‍යකර්ම වලට අවශ්‍ය නිර්වින්දනය කිරීමට අදාළ බෙහෙත් හිඟයක් තිබෙනවා. ඒ වගේම වකුගඩු ආශ්‍රිත රෝගී තත්වයන්ගෙන් පෙළෙන විශාල ප්‍රමාණයක් රෝගීන් පොළොන්නරුව පැත්තෙ ඉන්නවා.ඔවුන්ට අත්‍යාවශ්‍ය බොහෝ බෙහෙත් වර්ග හිඟයක් ඇතිවී තිබෙන බව දැනගන්නට ලැබුණා. ඒක ඉතාම බරපතල තත්වයක්. මේ සම්බන්ධව මා පමණක් නොවෙයි කළින් කොවිඩ් තත්වය මතුවූ වෙලාවෙ එංගලන්තය හා ඇමෙරිකාව වැනි රටවල සිට ලංකාවට උදව් කරපු අය සමඟත් මම සාකච්ඡා කළා. සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා වෛද්‍ය ආයතනය වැනි ආයතන සමඟත් අපි සාකච්ඡා කළා. මොකද ඔවුන් සමඟ සම්බන්ධීකරණයක් පවත්වමින් අත්‍යාවශ්‍ය බෙහෙත් මොනවාද, කුමන රෝහල් වලටද ඒවා අවශ්‍ය කියල දැනට වැඩපිළිවෙලක් සැළැසුම් කරගෙන යනවා.
ඊට අමතරව අපි ආධාර එකතු කරල බෙහෙත් හා උපකරණ මිලදී ගැනීමට අවශ්‍ය මුදල් අදාළ සමාගම් වලටම කෙළින්ම ගෙවල ලබාගන්නා ආකාරයත් අපි සාකච්ඡා කරමින් යනවා.

ප්‍ර. මේ සදහා ගෙන ඇති පියවර මොනවාද ?
පි. මෙම කටයුත්ත ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය අමාත්‍යංශයත් අදාළ ගිණුමක් විවෘත කර තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා වෛද්‍ය ආයතනයත් ගිණුමක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඒවාට කෙ‍ළින්ම මුදල් ආධාර යවන්නත් පුළුවන්. ඇත්තටම ඔස්ලමැට් ආයතනයේ අපි පසුගිය කොවිඩ් අවස්ථාවෙත් සෘජුවම අදාළ සමාගම් වලට මුදල් ගෙවලා තමයි බෙහෙත් හා වෛද්‍ය උපකරණ ගත්තෙ. අපේ මෙවර බලාපොරොත්තුවත් ඒ වගේම සමාගම් වලටම මුදල් ගෙවල අරගෙන ලංකාවෙ අවශ්‍ය රෝහල් වලට සෘජුවම ඒවා බෙදාහැරීමටයි.

ප්‍ර. මෙවර ඔබ කුමන ආකාරයේ සහයෝගයක්ද ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ ප්‍රජාවගෙන් බලාපොරොත්තු වෙන්නෙ.
පි. ශ්‍රී ලංකා ප්‍රජාව පසුගිය වතාවෙත් සෑහෙන ප්‍රමාණයෙන් ආධාර උපකාර කළා. කැපවීමෙන් මුදල් පවා එකතු කරල දායක වුණා. මෙවරත් ඒ සදහා කැමැති අයට හෝ යම් සංවිධානයකට සෘජුවම මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට අමතරව ඔස්ලමැට් වෙබ් අඩවියට (https://auslmat.org) ගොස් හෝ විද්‍යුත් තැපෑල හරහා අපිව සම්බන්ධ කරගන්නත් අවස්ථාව තිබෙනවා.
– අදාළ සාකච්ඡාවේ උපුටාගැනීම අවසන්-

සිරිනාම රාජපක්ෂ