හිටියොත් හොඳට හැදී දෙවියොත් ක්‍රිකට් වඳී.

 

ගෙවී ගිය වසරකට අධික කාලයක් මුළු ලොවම වසාගත් කොරෝනා වසංගත තත්වය හේතුවෙන් බොහෝ ක්‍රියාකාරකම් අක්‍රියව පැවැතුණද ජාත්‍යන්තර මට්ටමෙන් ක්‍රීඩා කටයුතු යම් මට්ටමකින් හෝ පවත්වාගෙන යන්නට ශ්‍රී ලංකාවත් දායක වී ඇත. එනම් අයහපත් සෞඛ්‍යමය පරිසර තත්වයක් යටතේ වුවද ගිම්හාන ඔලිම්පික් උළෙලට හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් තරග 42 (ටෙස්ට් 10, එක් දින 18, විස්සයි-20 තරග 14) කටද මෙකී කාලය තුළ සහභාගී වී ඇත. ඒ අතරින් තරග21ක් (ටෙස්ට් 4ක්, එක් දින9ක් සහ විස්සයි-20 තරග 8ක්) සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දී ඇත.

එසේ තරග වැදුණ ටෙස්ට් තරග 10න් 4ක්, එක් දින තරග 18න් 10ක් සහ විස්සයි-20 තරග 14න් 11ක් වශයෙන් ශ්‍රී ලංකාව පරාජය අත්කරගෙන ඇත. (ටෙස්ට් තරග 10න් ජයගත්තේ 2ක් පමණි). ඒ අතරින් අවසන් වරට ශ්‍රී ලංකාව මෙරට තුළදීම සහභාගී වූ විස්සයි-20 තරගාවලිය දකුණු අප්‍රිකාවට එරෙහිව 3-0ක් ලෙස අන්ත පරාජයකට පත්වීමට හේතුව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේම දියාරු අදූරදර්ශී ක්‍රියාකලාපය නිසාම බව කිව යුතුය. ටෙස්ට් තරග ආකෘතියට , එක් දින තරග ආකෘතියට හා විස්සයි-20 තරග ආකෘතියට අදාළව වෙන් වෙන් වශයෙන් සුදුසු ක්‍රීඩකයින් කවුද යන්න තෝරා ගැනීමට හැකියාවක් නොමැති තේරීම් කමිටුවක් අද පත්වී ඇත. කෙසේ වෙතත් වත්මන් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයාගේ දැනුමේ දිග පළල දන්නා අය මෙවන් තේරීම් ගැන පුදුමයට පත්වන්නේද නැත. තවද මෙම තේරීම් සමහරක් ඔහුගේ කමිටුවේම තෙරීම් නොවන බව ක්ෂේත්‍රය තුළ ප්‍රසිද්ධ රහසක් වන අතර ලොකු ලොකු කමිටුවල හා ක්‍රීඩා සභාවන් වල ඉන්නා මහත්වරුන් ලංකාවෙන් පිටත සිට පවා දුරකථනයෙන් උපදෙස් දෙමින් තේරීම් කමිටුවට බලපෑම් කරනා බවද පැවැසේ.

මෙසේ තමන්ට අල්ලේ නටවා ගත හැකි එහෙයියන් පිරිසක් පහ‍ළ තනතුරු වලට පත්කර ගැනීමේ න්‍යාය තදින්ම ක්‍රියාත්මක වීම මෙරට දූෂිත හා වහල් මානසිකත්වයෙන් හෙබි රටක් බවට පත්වීමට ප්‍රධානම හේතුව වී ඇති අතර ක්‍රිකට් ක්‍රීඩාවටද මෙම රෝගය බෝවීම කණගාටුවට කරුණකි. මෙවන් ආකාරයේ විෂබීජ ඇතුල් වූ විට ක්‍රිකට් වැනි කණ්ඩායම් ක්‍රීඩාවත් සුරක්ෂිත ගමනක ධාවනය වන්නේ නැත. එහෙන් මෙහෙන් ජයග්‍රහණ ලැබුණත් ඒවා යහපත් මට්ටමක පවත්වාගෙන යාමටද නොහැක. පසුගියදා අවසන්වූ පරාජිත විස්සයි-20 තරගාවලියට පෙර ඉන්දියාවට එරෙහිව පැවැති විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී තරගාවලියේ වීරයා වූ වනිඳු හසරංග නම් තුන් ඉරියව් ක්‍රීඩකයා මෙවර දකුණු අප්‍රිකාවට එරෙහිව තරග තුනේදීම පන්දුවාර 12ක් යවා ලකුණ්‍ර 80ක්ම ලබාදී දවාගත්තේ කඩුලු 3ක් පමණි. එම තරග තුනේදීම ඔහු පිත්තෙන් රැස්කළේද ලකුණු 8ක් පමණි. තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස විස්සයි-20 කණ්ඩායමට එක් වී ඇති අනෙක් ක්‍රීඩාකයා වන ධනංජය ද සිල්වා අවසන් දකුණු අප්‍රිකාවට එරෙහි තරග තුනේදීම ලබා ගත්තේ ලකුණු 6ක් පමණි. ඔහුද පන්දුවාර 4ක් යවා කඩුලු නොමැතිව ලකුණු 30ක් ලබා දී තිබුණි. එනිසා ක්‍රිකට් බලධාරීන් කෙසේ සුදු හුනු ගාන්නට උත්සාහ කළත් මේවා ප්‍රශ්නාර්ථයක් ගෙන දෙන කාරණාය.

තරගාවලියක් පරාජය වූ පමණින් සියල්ල අවසාන යැයි කළබල විය යුතු නැත. නමුත් ගැටළුව වන්නේ පරාජය නොව පරාජයට පත්වන ආකාරයයි. පන්දුවාර විස්සෙ තරගයකදී ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 120කටත් මෙහා දැවී යාමත් ප්‍රතිවාදීන් ඉදිරියේ අවම වශයෙන් මුහුණ දෙන පන්දු 120න් 43% ක් පමණ පන්දු ප්‍රතිශතයක් ලකුණු ලබා නොගත් පන්දු ලෙස සටහන් කරගැනීමත් කිසිසේත්ම පන්දුවාර 20 ආකෘතියේ තරගයකට සුදුසු තත්වයක් නොවේ. තවද ශ්‍රී ලංකා පිල ලබා ගත් ලකුණු සංඛ්‍යාව පසුකර ජයගන්නට ප්‍රතිවාදීන් වැය කළේ පන්දුවාර 15කටත් අඩු සංඛ්‍යවකි. දකුණු අප්‍රිකානු පිලේ ආරම්භක පිතිකරුවෙකුද ලෙස කටයුතු කරන ඒඩ්න් මාක්‍රම් ජාත්‍යන්තර මට්ටමේ දඟපන්දු යවන්නෙකු බවට පත්කළේ ශ්‍රී ලංකා පිතිකරුවන්ය. ඔහු මෙවර ශ්‍රී ලංකාවට ඒමට පෙර ජාතන්තර විස්සයි-20 කරළියේ තරග 12කදී යවා තිබුණේ පන්දුවාර 5ක් පමණි. කඩුලු 1ක් පමණක් දවා ගත් එම පන්දුයැවීමේදී ඔහු පන්දුවාරයකට ලබා දී තිබූ ලකුණු පුමාණය 12.2කි. එහෙත් මෙවර ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි-20 තරග තුනේදී මාක්‍රම් පන්දුවාර 6ක් යවා ලකුණු 25කට කඩුලු 4ක්ම දවා ගත්තේය. අනෙක් අතට ගෙදරදී තමන්ටම වාසි වන දඟකැවෙන තණතීරු සාදාගන්නා ශ්‍රී ලංකාවට සිදුවූයේ අනුන්ට කැපූ වලේ තමන්ටම වැටීමටය.

තරගාවලිය 3-0ක් ලෙස ලංකාවට පරාජය සටහන් කරමින් පැවැති අවසන් විස්සයි-20 තරගයේදී දකුණු අප්‍රිකානු දඟපන්දු යවන්නන් සිව්දෙනා පන්දුවාර 14ක් යවා ලකුණු 66ක් පමණක් දී (පන්දුවාරයකට ලකුණු 4.71) ශ්‍රී ලංකා පිලේ කඩුලු 4ක් දවාගැනීමෙන්ම ඉහත අදහසට සාක්ෂි සපයයි. පසුගිය දකුණු අප්‍රිකානු පිලට එරෙහිව විස්සයි-20 තරගාවලියේදී මෙවන් අයුරින් අංශ තුනෙන්ම අසාර්ථක වූ ශ්‍රී ලංකාව දැන් 10වැනි තැන දක්වා පල්ලම් බැස ඇති අතර තවත් දින කිහිපයකින් ඕමාන් කණ්ඩායම හමුවීමට යන්නේ ඉන් පසුව ලබන මාසයේදී මුහුණ දීමට ඇති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයට පෙරහුරුවක් ලෙසය. නමුත් ඕමාන කණ්ඩායම සමඟ පැවැත්වෙන විස්සයි-20 තරග දෙකද තරමක් අපහසු විය හැකි වන්නේ ඕමාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු වන දුලිප් මෙණ්ඩිස් කටයුතු කිරීම නිසාම නොවේ. දුලිප් මෙණ්ඩිස් යනු ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයකු පමණක් නොවේ. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම් වල පුහුණුකරවකු හා කලමණාකරුවකු වැනි සියළුම ආකාරයේ තනතුරු දැරූ දුලිප් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියකුද වනු ඇත.

එබැවින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව දුලිප්ට ඇති හසළ අත්දැකීම් සම්භාරය තව දින කිහිපයකින් ශ්‍රී ලංකා පිල සමඟ තරග වදින ඕමාන් පිලට ඉමහත් වාසිදායක තත්වයක් විය හැකිය. තවද ශ්‍රී ලංකාවේ තණතීරු සැකසීම සම්බන්ධයෙන් එකල මෙම ලියුම් කරු සමඟ අදහස් දක්වමින් දුලිප් පවසා සිටියේ එම ක්‍රියාව “තමන්ම උඩබලාගෙන කෙළගසා ගැනීමක් “ යන්නයි. හේතුව මේ අයුරින් තමන්ගෙ රටේ දඟපන්දු යවන්නන්ටම වාසි වන ලෙස තණතීරු සාදාගෙන තරග දිනා ගැනීමට උත්සාහ කිරීම රටින් පිටට ගොස් තරග දිනාගැනීමට බාධාවන් විය හැකි බවද ඔහුගේද අදහස විය. නමුත් අද තත්වය ඊටත් වඩා වැහැරී ඇත්තේ පිටරට දඟපන්දු යවන්නන් අපේ ගෙදරටම විත් පිතිකරුවන් විනාශ කරන නිසාය.

එනිසා අර තරගාවලියෙන් එතරම් ලාභ ලැබුණා මෙතරම් ලාභ ලැබුණා කියා පුරසාරම් දෙඩෙව්වාට ඵලක් නැත. මෙරට ක්‍රිකට් පාලකයින් කියන පරිදි පෙර පැවැති ඉන්දියාව සමඟ තරගාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලැබූ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 14.5කි. දැනගන්නට ඇති පරිදි අවසන් වරට නිමාවූ දකුණු අප්‍රිකාව සමඟ තරගාවලියෙන් ලැබෙන ආදායම ඉන් හරි අඩක් පමණ වනු ඇතැයි පැවැසේ. එය ප්‍රමාණාත්මක බවින් සතුටට පත්විය හැකි කාරණයකි. නමුත් පරාජයන් හමුවේ අපේ රටේ ක්‍රිකට් වල ගුණාත්මකභාවයට වන හානිය මිල කළ නොහැක. කණ්ඩායමේ පැවැත්ම හා දියුණුව රඳා පවතින්නේ ක්‍රීඩකයින්ගේ දක්ෂතාව මුසුවූ ගුණාත්මක බව ඉහළ යන විටය. අද බොහෝ දෙනා කතාකරනා මහේල-සංගක්කාර යුගයේ මෙරට ක්‍රිකට් ඉහළම තැනක සිටියේත් ඔවුන් ඉතා හොඳින් දක්ෂතා දැක්වූයේත් මෙරට තුළ ගුණාත්මකබවෙන් යුත් ඉහළම තත්වයේ පුහුණුකරණය සහිත පරිපාලනමය පරිසරයක් පැවැති නිසාය.

එහෙත් අද මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ මෙන්ම සමස්ථ ක්‍රීඩා පරිපාලන පද්ධතියේ කමිටු වලට සහ පාලක සභාවන් වලට සුදුසු පුද්ගලයින් පත්කර ඇතිදැයි ප්‍රශ්නාර්ථයක් ඇත. එසේ පත්වී ඇති බෙහෝ දෙනා ක්‍රීඩකයින් ලෙස ප්‍රමාණාත්මකව ප්‍රසිද්ධ චරිත වුවද පරිපාලනමය පැත්තෙන් ගුණාත්මක සේවාවක් ලබා ගත හැකි පුද්ගලයින්දැයි ප්‍රශ්නයකි. ක්‍රිකට් ගැන කතා කළහොත් ලොව සිටින අසාර්ථකම පුහුණුකරුවන් හා උපදේශකයින් ආනයනය කරගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි. ඒවාද මෙකී කමිටුවල ඉන්නා මහත්වරුන්ගේ කැමැත්ත හා හිතවත්කම් මත සිදුකර ඇති ඒවාය. නමුත් ලබෙමින් තිබෙන ප්‍රතිථල අනුව කිවයුත්තේ විවිධ රටවල් හා තරගාවලි වෙනුවෙන් පුහුණු කටයුතු කරන අපේම පුහුණුකරුවන් කැඳවා ගතහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් වැඩකරන සුදු මහත්වරුන් හයදෙනෙකුට මසකට ගෙවන රුපියල් මිලියන 240කට ආසන්න මුදලෙන් මීට වඩා ප්‍රයෝජනයක් ලබා ගැනීමට හැකිවනු ඇත. ඒ සඳහා ඉහළ ගුණාත්මක තත්වයකින් කටයුතු කරන පරිපාලනමය පරිසරයක් අවශ්‍යමය. තවද ක්‍රීඩකයින් පිළිබඳව තීරණ ගැනීමේදීද මෙකී පරිපාලන ගුණයන් ඉස්මතු විය යුතුය.

චමීර හා හසරංගගෙ අයිපීඑල්. ගමන සම්බන්ධයෙන් සතුටු විය හැකි කාරණා තිබුණත් රටක් වශයෙන් අනාගතය ගැන කල්පනා කළහොත් අසුභවාදී පැත්තකුත් ඇති බව අමතක නොකළ යුතුය. එනම් අති ධාවනකාරී බවක් උසුළන අයිපීඑල් වැනි ක්‍රිකට් තරගාවලියක් තුළ ඔවුන්ගෙන් ලබා ගන්නා අධික වැඩ කොටස නිසා ක්‍රීඩකයාට මතුවිය හැකි ආබාධ තත්වයන් ඊට හේතුවයි. අනෙක් අතට ඉන්දියාවේ දේශීය තරගාවලියකට ගොස් කකුල් කඩා ගත්විට ඒවා සනීප කරන්නට වියදම් කරන්නේ ශ්‍රී ලංකාවේ මුදල්ය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ටද ඕනෑ තරම් අත්දැකීම් ඇත. අයිපීඑල් කට්ටිය අතවනන්නේ රටක ක‍ණ්ඩායමට ක්‍රීඩා කරන අයට පමණි. අනෙක හසරංගට හා චමීරට මෙවර ආරාධනා ලැබෙන්නට ප්‍රධාන හේතුව පසුගිය ජුලි මාසයේ මෙරට පැවැති ශ්‍රී ලංකා-ඉන්දියා ක්‍රිකට් තරගාවලියේදී හොඳින්ම පන්දුයැවූ පුතිවාදීන් දෙදෙනා නිසාය. එනිසා මෙරට ක්‍රිකට් බලධාරීන් සිතා බැලිය යුතු කරුණ වන්නේ විස්සයි-20 ලෝක කුසලානයක් අත ළඟ තබාගෙන කණ්ඩායම සතුව සිටින එකම නිත්‍ය වේගපන්දු යවන්නා ඇතුළු හොඳම පන්දු යවන්නන් දෙදෙනා අයිපීඑල් තරගාවලියට යැවීම නුවණට හුරු ක්‍රියාවක්ද යන්නයි.

මේ පිළිබඳව සඳහන් කරනා විට මෙරට බොහෝ දෙනෙකු සිතන්නේ එසේ සිදුවූ අවස්ථා වලදී ක්‍රීඩකයින්ට වියදම් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් මිස අපේ රටේ මුදල් නොවන බවය. එසේ සිතනා සියලුම දෙනා අවබෝධ කර ගත යුතු කරුණ නම් ලංකාවේ පිහිටුවා තිබෙන්නේ ඉන්දීය ක්‍රිකට් ආයතනය නොව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බවයි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උපයන මුදල් සහ එම ආයතනයට ලැබෙන මුදල් සම්බන්ධයෙන් ඔවුන් රටේ ජනතාවට මෙන්ම පවතින රජයට වගකිව යුතුය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ යටතේ පවතින පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් වරින් වර කැඳවන්නේද ඒ හේතුව නිසාය. ක්‍රීඩාවට ලැදි බෙහෝ දෙනෙක් මෙම තත්වය තේරුම් ගැනීමට අසමත් වීම කණගාටුවට කරුණකි. එයට හේතුව ඔවුන්ද මෙරට ඡන්දදායකයින්මය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබෙන මුදල් සම්බන්ධව මෙතරම් පැහැදිලි කිරීමට තවත් හේතුවක් වූයේ සමහර ක්‍රිකට් ලොක්කන් මෑතකදී කරන ලද ප්‍රකාශයන්ද නිසාය. ඔවුන් පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් යනු ස්වාධීන ආයතනයක් බවත් එහි කටයුතු වලට කිසිවෙකුටත් ඇඟිලිගැසිය නොහැකි බවත්ය. ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව (එන්.ඕ.සී.) වයන්නේත් මේ බෙර පදයමය. එහෙත් මේ බෙර පදයට ක්‍රීඩාවේ උඩක් පල්ලක් නොදන්නා ඉහළම තැන්වල සිටින සමහරුන් නටවන්නට හැකියාව තිබුණද ක්‍රීඩාවේ මෙන්ම රටේ නිතීය දන්නා සදාචාර සම්පන්න පුරවැසියන් ඔවැනි පුහු පදයන්ට නටවන්නට නොහැකිය. අනෙක එසේ ස්වාධීන යැයි කියාගන්නා ආයතන සැබෑවටම ස්වාධීන නම් ඔවුන්ගේ ක්‍රීඩක තේරීම් සඳහා මෙන්ම සියලුම විදෙස් සංචාර සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගන්නේ ඇයි ?. එසේම මෙකී ආයතන වලට පාලකයින් පත්කර ගන්නේද ක්‍රීඩා අමාත්‍යංශයේ සෘජු මැදිහත් වීමෙනි.

තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යනු මෙරට තුළ සම්මත ක්‍රීඩා පනතට අනුව ලියාපදිංචි කර ඇති ක්‍රීඩා පරිපාලන ආයතන 62ට ඇතුළත්ව ඇති තවත් එක් ක්‍රීඩා පරිපාලන ආයතනයක් පමණි. නමුත් ජාතික හා ජාත්‍යන්තර මට්ටමෙන් ලබා ඇති ජනප්‍රියත්වය නිසා මෙන්ම මෙරට තුළ අනෙකුත් ක්‍රීඩාවන්ට සාපේක්ෂව මුල්‍යමය ශක්තියෙන් ඉතා ඉහළ ස්ථානයක පසුවන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සුවිශේෂී ස්ථානයක් හිමිව ඇති බව සැබෑය. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් යනු අපේය. ශ්‍රී ලාංකිකයින්ගේය. එය පාලලා‍ගේ හෝ දාසලාගේ හෝ සිල්වලාගේ හෝ තුංගලාගේ බූදලයක් නොවේ.

මෙසේ කියන්නට සිදුවී ඇත්තේ ගෙවී ගිය දශක දෙකක පමණ කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා පාලකයින් පත්වීමේදී එහි තනතුරු හය හත්දෙනෙකුගෙන් යුත් එකම කණ්ඩායමක් තුළ සංසරණය වෙමින් තිබීමයි. නිලවරණයක් පැමිණි විට පාලකයින් තෝරා ගැනීමට අනන්නේ එකම කාඩ් කූට්ටමය. ඒ අනුව වරෙක පළවෙනියා තුන්වැනියා සමඟ එක්වී සභාපති ලේකම් තනතුරු බෙදා ගනිති. තවත් වරෙක තුන්වැනියා හත්වැනියාට එකතුවී එම තනතුරු දෙක බෙදා ගනිති. උප සභාපති සහ උප ලේකම් තනතුරුත් ඒ ආකාරයට බෙදාගනිති. අපේ රටේ මොන ආණ්ඩුවක් පත්වුණත් සමහරුන් හැමදාමත් ඇමැතිලාය. ක්‍රිකට් ලේකම් කමත් එවැන්නකි. ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට සාමාජිකයින් පත්වෙන්නේත් ඒ හා සමානම රටාවකටය. එනිසා සැමදා හමුවන එකම කණ්ඩායමක් තුළින් අලුත් යමක් බලාපොරොත්තු වීම දුර්ලභ එකකි. හේතුව බොහෝ විට ඔවුන් ඔවුන්ගේ අත්දැකීම් යොදාගන්නේ ක්‍රීඩාවේ දියුණුවට හා පැවැත්මට නොව ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කිරීමටය.
අවසන් වශයෙන් කිවයුත්තේ අද කාලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් තරගයක් තුළදී ක්‍රීඩා පිටියට එනවිටත් නැවත ක්‍රීඩා පිටියෙන් යන විටත් දෙවියන්ට යදිමින් හැසිරුණද අපරට වැනි දූෂණය හා වංචාව රජයන රටක ක්‍රීඩකයින් ගැනවත් දෙවියන් බලන්නේ නැත.

සිරිනාම රාජපක්ෂ