පාට පාට ක්‍රිකට් නැව ගිලුනත් බෑන්ඩ් චූන්

මෙරට ඕනෑම ව්‍යාපාරිකයෙකුගේ කතාව නම් ඉතා යහපත්ය. එහෙත් ක්‍රියාව නම් ඉතාමත්ම අයහපත්ය. එයට හේතුව සමහරු තමන්ගේ භාණ්ඩය අලෙවි කිරීම සඳහා පාරි‍භෝගිකයා මුලාකිරීමට ඕනෑම පහත් ක්‍රියාවක යෙදෙයි. තවත් විදියකින් කිවහොත් පාරිභෝගිකයා ඇන්දවීමට නොකරන දෙයක් නැත. එසේ කරන එක් දෙයක් හඳුන්වන්නේ වෙළඳ දැන්වීම් ලෙසය.
මෙවන් වෙළඳ දැන්වීම් සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු පසුගියදා ප්‍රකාශ කළේ වැඩිපුර වෙළඳ දැන්වීම් වල යන ආහාර ද්‍රව්‍ය අඩුවෙන් ගන්නා ලෙසයි. එහෙත් බොරු පොරොන්දු වලට රැවටී වැඩි ඡන්දය ලබා දෙන ජනතාවක් සිටිනා රටක පාරිභෝගිකයින්ද රැවටටීම එතරම් අපහසු නැත.

දැන් බැලූ විට “අනාගතය අදයි“ යන කතාවටද අපි මෙතෙක් රැවටී සිටියා දැයි දැන් සැකයක් මතුවේ. එසේ පවසන්නේ අනාගතය අදයි නම් අපේ රටේ වැසියන්ගේ අනාගතය මාරාන්තිකය. මුළු ලොවම වසාගත් කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මේ වන විට අපේ රට තුළ දිනකට ආසාදිතයින් 3000ක් ඉක්මවා වාර්තා වීමත් සහ මරණ 200කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වීමත් සිදුවෙයි. එහෙත් “අනාගතය අදයි“ කියන සමාගමටත්  ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනයටත් තම තමන්ගේ මඩිය තරකර ගැනීම හැර වෙනත් අරමුණක් නැත. කාගේත් භාෂාවෙන් කියනවා නම් නැව ගිලුනත් බෑන්ඩ් චූන්ය.

මේ දිනවල සිදුකරණ එන්නත්කරණ වැඩපිළිවෙළට අනුව 25% කටත් අඩු එන්නත්කරණ ප්‍රතිශතයක් ඇති මහනුවර දිස්ත්‍රික්කය තුළ පල්ලෙකැළේදී මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සැබැවින්ම ක්‍රිකට් සෙල්ලම් කිරිමක් වගේම මිනිසුන් සමඟ සෙල්ලම් කිරීමක් නොවේද? එසේ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකයින්ද මනුෂ්‍යයින් නිසාය. මේවා කරන්නේ ජෛව ආරක්ෂක බුබුළු යටතේ යැයි පිළිතුරු තිබිය හැකිය. එකී බුබුළු වලට සිදුවූ දේවල් ගැන කවුරුත් දනිති. අනෙක ඔවැනි තරගාවලියකින් අමුතු ක්‍රීඩක තෝරා ගැනීමක් සිදුවන්නේද නැත. ඊළඟ තරගාවලියටත් පරණ කාඩ් කූට්ටමම අනනු ඇත. එසේම  අද වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන කාර්යාලයද කොරෝනා අතින් අනාරක්ෂිත ස්ථානයකි.

මේ කරුණු කෙසේ වෙතත් මෙම තරගාවලිය කරවන සහ මුදල් වියදම් කරන  යන ආයතන දෙකෙහිම මහත්වරුන් තේරුම් ගතයුතු කරුණක් වන්නේ සෑම දේටම වඩා කෙනෙකුගේ ජීවිතයත් සහ මනුස්සකමත් උසස් බවය. ක්‍රීඩාව පැවැතීමටත් මිනිසුන් ජීවත් විය යුතුය.  මේ වන විට අපේ රටේ පැයකට 8 දෙනකුට ආසන්න ගණනක් කොරෝනා ව්‍යසනයෙන් මියැදෙද්දී සිය ගණනක් ඔක්සිජන් නොමැතිව පණ අදිද්දී  මෙවන් ක්‍රිකට් සැණකෙළි වලට සල්ලි නාස්ති කරන්නේ “අනාගතය අදයි “ යන සංකල්පය නිසාදැයි ප්‍රශ්නයක් මතුවේ.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු හෝ ඔවුන්ගේ නෑදෑයකු, හිතවතෙකු මිය ගිය විට කලු පටි පැළැඳ හිතේ දුකෙන් ක්‍රීඩා කරනා අය තමන් උපන් බිමේ දිනකට සිය ගණනක් මියයද්දී මේ දිනවල උපන් දින සාද පවා පවත්වමින් පල්ලෙකැළේ ක්‍රීඩා කරන ආකාරය කැළේ ඉන්න අයටම ගැලැපෙයි. එසේ නොවේ නම් ඔය නාස්තිකරන මුදල් දැන් මිනිසාට අත්‍යවශ්‍ය ඔක්සිජන් සිලින්ඩර ටික වෙනුවෙන් වත් වියදම් කිරීමට හිතක් පහළ විය යුතුයි නේද ?