‘භයංකාර’ කැරකෙන වස්තුවක් සොයාගනියි

 ආකාශ වස්තූන්ගෙන් වෙනස්වන, නාඳුනන භ්‍රමණය වන වස්තුවක් ක්ෂීරපථයේ සැරිසරන බව නිරීක්ෂණය වී ඇතැ යි ඔස්ට්‍රේලියානු විද්‍යාඥයෝ පවසති.

විශ්වවිද්‍යාල සිසුවෙකු විසින් අනාවරණය කරගන්නා ලද මෙම වස්තුව, සෑම මිනිත්තු 18කටම වරක් සම්පූර්ණ මිනිත්තුවක් තිස්සේ අධික ගුවන් විදුලි තරංග ශක්තියක් නිකුත් කරන බව නිරීක්ෂණය වී ඇත.

විශ්වයේ රැඳී තිබෙන ශක්තිය නිකුත් කරන වස්තූන් බොහෝදුරට ලේඛනගතව ඇත. නමුත් පර්යේෂකයන් පවසන්නේ මිනිත්තුවක් පුරාවට ස්පන්දනය වන වස්තුවක් ඉතා අසාමාන්‍ය බව ය.

මෙය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙයි.

මෙම වස්තුව මුලින්ම සොයාගනු ලැබුවේ බටහිර ඕස්ට්‍රේලියාවේ ජනශූන්‍ය කාන්තාර ප්‍රදේශයේ පිහිටි ‘මර්චිසන් වයිඩ්ෆීල්ඩ් ඇරේ’ ලෙස හැඳින්වෙන රේඩියෝ දුරේක්ෂ ව්‍යාපෘතිය හා කටයුතු කළ සිසුවෙකු විසිනි. කර්ටින් විශ්වවිද්‍යාලයයේ ගෞරව උපාධි ශිෂ්‍ය ටිරෝන් ඕ’ඩොහර්ටි, දුරේක්ෂයක් සහ ඔහු විසින් වැඩිදියුණු කෙරුණු නව ශිල්පක්‍රමයක් හරහා මෙය නිරීක්ෂණයකොට තිබුණි.

ඕ’ඩොහර්ටි, කර්ටින් විශ්වවිද්‍යාලයය සම්බන්ධ රේඩියෝ තාරකා විද්‍යා පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ (ICRAR) තාරකා භෞතිකවිද්‍යාඥ ආචාර්ය නටාෂා හර්ලි-වෝකර් මෙහෙයවන කණ්ඩායමක සාමාජිකයෙකි.

“අපගේ නිරීක්ෂණ කටයුතු සිදුවන අතරේ, පැය කීපයක කාලයක් තිස්සේ එය පෙනෙමින් අතුරුදහන් වෙමින් පැවතුනා,” මෙම සොයාගැනීම මාධ්‍යයට නිකුත්කෙරුණු ICRAR නිවේදනයක ඇය සඳහන් කර තිබිණි.

“එය සම්පූර්ණයෙන්ම අනපේක්ෂිත දෙයක්. එය තාරකාවිද්‍යාඥයෙකුට නම් යම් ආකාරයක බියක් ගෙන දෙන දෙයක්. මොකද මෙවැනි හැසිරීමක් පෙන්නන ආකාශ වස්තුවක් ගැන කිසිවක් අපි මින්පෙර දැන සිටියේ නැහැ.”

විශ්වයේ පවතින වරින් වර ක්‍රියාත්මක වන වස්තූන් තාරකා විද්‍යාඥයින්ට අලුත් යමක් නොවේ. ඔවුන් ඒවා හඳුන්වන්නේ “අචිරස්ථායී වස්තූන්” ලෙස යි.

නමුත් සම්පූර්ණ මිනිත්තුවක් ක්‍රියාත්මක වූ වස්තුවක් “ඇත්තටම අමුතු යි”, ICRAR සහ කර්ටින් විශ්වවිද්‍යාල තාරකා භෞතිකවිද්‍යාඥ ආචාර්ය ගෙමා ඇන්ඩර්සන් විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන්ව ඇත.

වසර ගණනාවක දත්ත පරීක්ෂාවෙන් පසු, මෙම වස්තුව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 4,000ක් පමණ දුරින් පිහිටා ඇති අතර, එයට ඇදහිය නොහැකි තරම් දීප්තිමත් මෙන්ම අතිශයින් ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක් සතුයැ යි තහවුරුකර ගැනීමට කණ්ඩායමට හැකි වූ බව ICRAR වැඩිදුරටත් සඳහන් කළේ ය.

මෙම ආකාශ වස්තුව කුමක්විය හැකි ද යන්න ගැන මෙතෙක් ඉදිරිපත්ව ඇති න්‍යායන්ට අනුව එය නියුට්‍රෝන තාරකාවක් හෝ, ‘සුදු වාමනයා’ ලෙස හඳුන්වන අන්දමේ හැකිළුණු තාරකාවක නටබුන් වියහැකි බව ද පැවසේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධ බොහෝ තොරතුරු තවමත් අභිරහසක්ව පවතියි.

“තවත් පර්යේෂණ මඟින් තාරකාවිද්‍යාඥයින්ට දැනගන්න පුළුවන් මේක එක්වරක් සිදුවන ආකාරයේ දුර්ලභ සිදුවීමක් ද, නැතිනම් අප මින් පෙර කිසිදා දැක නැති විශාල නව ගහණයක් ද කියලා. මම මෙම වස්තුව තවදුරටත් තේරුම්ගන්න වගේම, පසුව ඒ ගැන තවදුරටත් සොයන්න බලාපොරොත්තු වෙනවා,” ආචාර්ය හර්ලි-වෝකර් පැවසීය.

bbc news