ඉම්රාන් ඛාන් එක්ක හැප්පෙන හිටපු බිරිඳට වෙඩි….

  • ඕනෑම පිතිකරුවකුට හයේ පහරක් ගහන්න පුළුවනි. නමුත් නියම අභියෝගය ශතකයක් දක්වා හොඳ සම්බන්ධතාවක් පවත්වා ගැනීමයි.” – හිටපු බිරිය රෙහාම් ඛාන්

ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි-බිඳුණු දා පූජාව ප්‍රේමයේ ඔහුගේ ආගම වෛරයයි.දැන් පාකිස්තාන අගමැතිවරයාගේ හිටපු බිරිය රෙහාම් ඛාන් අරභයා සිදුවෙමින් තිබෙන්නේ ද ඒ ටිකමය. පාකිස්තාන සම්භවයක් සහිතව ලන්ඩනයේ හැදී වැඩුණු මේ සුරූපි කාන්තාව ඉම්රාන්ගේ දෙවැනි බිරිය හැටියට දීග කෑවේ මාස දහයක කාලයක් පමණි. මීට වසර 6කට පෙර එනම් 2015 වසරේ නොවැම්බරයේදී ඉම්රාන් ඛාන්ගෙන් නීත්‍යානුකූලව වෙන් වූ රෙහාම් ඛාන් එදා සිට හිටපු සැමියා දැඩි විවේචනයට හසු කරමින් සිටින අතර, 2018දී පාකිස්තානයේ අගමැති පුටුවේ අසුන් ගැනීමෙන් පසුවත් ඉම්රාන්ට රෙහාම්ගෙන් එල්ල වන්නට වූ චෝදනාවල නිමාවක් තිබුණේම නැත.

ඊයේ පෙරේදා රෙහාම් ඛාන් පිළිබඳ යළි මතකය ඇවිස්සුණේ ඉස්ලාමාබාද් නුවරදී ඇය ගමන් ගත් මෝටර් රථය ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාරයක් එල්ලවීමත් සමඟිනි. මේ ප්‍රහාරයේ වගකීමත් රෙහාම් පැටවූයේ හිටපු සැමියා මතය.

පාකිස්තානය එන්න එන්නම බියසුල්ලන්ගෙන් පිරුණු රටක් බවට පත්වෙමින් තිබෙන බව කියමින් ඇය තමාට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ වගකීම ඉම්රාන්ගේ රජයට පැටවූවාය. යතුරු පැදියෙන් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු සිය මෝටර් රථය හඹා එමින් වෙඩි වරුසාවක් එල්ල කළේ පසුගිය ජනවාරියේ මුල් භාගයේ එක්තරා රාත්‍රියකදීය. ඒ මොහොතේ ඇය ඥාතිත්වයෙන් බෑනනුවන් කෙනකු වන තරුණයකුගේ විවාහ මංගලෝත්සවයකට සහභාගි වී නැවත නිවෙස බලා යමින් සිටි අතර, වෙඩි ප්‍රහාරයෙන් කිසිදු උපද්‍රවයකින් තොරව දිවි ගලවා ගැනීමට තරම් වාසනාවන්තියක වූවාය.

“මම සාමාන්‍යයෙන් ආරක්ෂාව සැලකිල්ලට ගෙන වරින් වර මගේ මෝටර් රථය වෙනස් කරනවා. මට වෙඩි ප්‍රහාරය එල්ල වෙද්දී මගේ පෞද්ගලික ආරක්ෂකයාත්, රියැදුරාත් මෝටර් රථයේ සිටියා. මම බේරුණේ වාසනාවකට.” හිටපු රූපවාහිනි නිවේදිකාවක ද වන රෙහාම් වාර්තාකරුවන්ට එසේ කීවේ මේ සිදුවීමට මුල් වූයේ ඉම්රාන් මිසක අන් කිසිවකු නොවන බවය.

වෙඩි ප්‍රහාරයෙන් මොහොතකට පසු ඇගේ ට්විටර් ගිණුම කාර්යබහුල වූ අතර, මිනිත්තුවෙන් මිනිත්තුවට ඇය සිය ට්විටර් ගිණුම යාවත්කාලීන කළේ වෙඩි ප්‍රහාරය සම්බන්ධව ඉස්ලාමාබාද් නුවර පොලීසිය අලස අයුරින් කටයුතු කිරීම ඇතුළු තවත් කරුණු ගණනාවක් සටහන් කරමිනි.

“පැමිණිල්ල පොලිස් පොතේ ලියන්න අපි පැය ගාණක් රස්තියාදු වුණා.” ඒ එක් සටහනකි.

“දැන් වේලාව උදේ 9.00යි. මගේ පෞද්ගලික ආරක්ෂකයා ඇතුළු කණ්ඩායම මිනිත්තුවක්වත් නිදා ගත්තේ නෑ. අපේ පැමිණිල්ල තවම පොලිස් පොතේ ලියැවුණේ නෑ.” එය තවත් සටහනකි.

ඇගේ පැමිණිල්ල පොලිස් පොතේ ලියාපදිංචි වූයෙත්, එහි පිටපතක් ඇයට ලැබුණේත් පෙරවරු 10.00ත් ඉක්මවා යෑමෙන් පසුවය.

වයස අවුරුදු 25-30 අතර පසුවන තරුණයන් දෙදෙනකු සැකකරුවෝ වූහ. එහෙත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට තරම් හදිස්සියක් පොලීසියට තිබුණේම නැති බව රෙහාම් කියන්නේ අවඥාසහගත සිනහවකින් යුතුවය.

මාධ්‍යවේදිනියක ලෙස කාර්යබහුල ජීවිතයක් ගත කරමින් ලන්ඩනයේ පදිංචිව සිටි රෙහාම් ඛාන් පාකිස්තාන අගමැතිවරයාගේ දෙවැනි බිරිය ලෙස යුග දිවියට පිවිසියේ 2015 ජනවාරියේදීය. එය නිමාවට පත් වූයේ ඒ වසරේදීම ඔක්තෝබර් මාසයේ 30 වැනිදාය. දික්කසාදයෙන් පසු ඇය පෙරළා ලන්ඩනයට පියාසර කළේ මරණ තර්ජන එල්ල වෙමින් තිබූ පසුබිමකදීය.

ඇය කියන්නේ ඉම්රාන් ඛාන් අගමැති පදවියට පත්වීමෙන් පසු තමාට එල්ල වූ ජීවිත තර්ජන වැඩි වූ බවය. පාකිස්තානයේ අගමැතිවරයා ලෙස අසීමිත බලයක් සහිත පුද්ගලයා බවට පත් වූවත් ඉම්රාන් යනු පාකිස්තාන හමුදාවේ පඹයකු බව ඇය ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය මේ මරණ තර්ජන වැඩි වීමට බලපෑ බව දේශපාලන විශ්ලේෂකයෝ කියති. කලක් බීබීසී රූපවාහිනියේ මාධ්‍යවේදිනියක ලෙස රාජකාරි කළ රෙහාම් එහි කාලගුණ වාර්තාව ඉදිරිපත් කිරීම නිසා ප්‍රචලිතව සිටියේ ‘කාලගුණ කෙල්ල’ නමිනි. ඉම්රාන්ගෙන් දික්කසාද වී ලන්ඩනයට ගිය රෙහාම් යළි පාකිස්තානයට පැමිණියේ මාස කිහිපයකට පසුවය. ඇය හැම අතින්ම ඉම්රාන්ට අභියෝගයක් බව ඇගේ සමීපතමයන් පවසන්නේ ඇගේ ගති පැවතුම් හොඳින්ම දන්නා නිසාය. මේ කාලගුණ කෙල්ල කිසිදු අභියෝගයකට බියක් නොදක්වනු නිර්භීත කාන්තාවක් බව තවත් සමහරු කියති. ඇතැමුන් ඇය දකින්නේ කදිම දේශපාලන පන්නරයක් සහිත රෙහාම් ඛාන් අකාලයේ ජීවිතයෙන් සමුගත් කෘතහස්ත දේශපාලන නායිකාව බෙනාසිර් භූතෝගෙන් පසුව එරට දේශපාලනයේ තිබූ කාන්තා අඩුව පිරවීමේ පෙරනිමිත්තක් ලෙසටය.

රෙහාම් ඛාන් නැවත පාකිස්තානයට පැමිණීම දේශපාලන කාරණාවක් බවට පත්වූයේ එබැවිනි. ඇගේ ලහෝර් ගමනේ ඇති දේශපාලනික වැදගත්කම නිසාම එය නැවැත්වීමට අදිසි බලවේග රැසක්ම ක්‍රියාත්මක වෙමින් තිබිණි. ඇය ලහෝර් නුවරට සේන්දු වූයේ ඇගේ ජිවිතයට විද්‍යුත් තැපෑල සහ අන්තර්ජාලය හරහා මරණ තර්ජන ගලා එමින් තිබියදීමය. තම ජිවිතය බරපතළ ලෙස අවදානමකට ලක්වී ඇතැයි ද කිනම් මොහොතක හෝ තමාට ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි ද ඇය ලහෝර් නුවරට ගොඩ බට මොහොතේ වාර්තාකරුවන් අමතා කියා සිටියාය. එසේ වුවත් ඇය රජයෙන් කිසිදු ආරක්ෂාවක් නම් ඉල්ලා සිටියේ නැත.

“මම පතාන් පරපුරේ කෙනෙක්. ඒ නිසා කාටවත් බය නෑ. අපි දන්නවා කොහොමද ප්‍රහාරවලට මුහුණ දෙන්නෙ කියලා. මම කාන්තාවක් නිසා සමහර මිනිස්සු හිතනවා ඇති බය කරලා, තර්ජනය කරලා, අසභ්‍ය වචනවලින් බැනලා මාව නවත්වන්න පුළුවන් වේවි කියලා. ඒත් ඒක ලෙහෙසි වෙන්නෙ නෑ.” ලාහෝර් ගුවන් තොටුපළේදී රෙහීමා එසේ කීවාය.

එදා සිට අද දක්වා රෙහාම් ඛාන් විවිධ අවස්ථාවලදී වාචිකව මරණ තර්ජනවලට ලක් වූ අවස්ථා එමටය. ඊයේ පෙරේදා වෙඩි ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් ඇයට එවැනි අනතුරු හා අවදානම් තත්ත්වයන් සුපුරුදු ඒවාය.

දෙදෙනාගේ දික්කසාදයෙන් පසුව ඇය පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ මැන්චෙස්ටර් නුවර පැවැති ජාත්‍යන්තර මාධ්‍ය සමුළුවකදීය. ඒ වෙද්දී ඉම්රාන්-රෙහීමා දික්කසාදය ප්‍රසිද්ධියට පත්වී තිබිණි.

ඒ මාධ්‍ය සමුළුවේ දී ඇය පැමිණ සිටි පිරිස අමතා මෙසේ කීවාය.

“ඕනෑම පිතිකරුවකුට හයේ පහරක් ගහන්න පුළුවනි. නමුත් නියම අභියෝගය ශතකයක් දක්වා හොඳ සම්බන්ධතාවක් පවත්වා ගැනීමයි.”