භානුක රාජපක්ෂට වසර 02ක අත්හිටුවූ තරග තහනමක් සහ ඇමරිකානු ඩොලර් 5,000ක දඩයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂට සියලු ආකාරයේ ක්‍රිකට් තරග සඳහා වසරක තහනමක් පනවා තිබේ. කෙසේ වෙතත් ඔහු සම්බන්ධයෙන් සිදු කළ විනය පරීක්ෂණයකින් පසුව එම තහනම වසර දෙකකට අත්හිටුවා ඇමරිකානු ඩොලර් 5,000ක දඩයක් නියම කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

මේ අනුව ඔහුට මේ ආකාරයේ විනය විරෝධී ක්‍රියාවකට වසර 02ක් තුළදී චෝදනා ලබා එම චෝදනා ඔප්පු වුවහොත් ඔහුට අදාළ වසරක තරග තහනම පැනවෙනු ඇත.
භානුක රාජපක්ෂට එල්ල වී තිබුණු චෝදනා වනුයේ 2019/2020 කාලසීමාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩක ගිවිසුමේ වගන්ති උල්ලංඝනය කිරීමයි. එනම් නිසි අවසරයකින් තොරව සමාජ සහ වෙනත් මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවල පෙනී සිටීමයි.

දැනට භානුක රාජපක්ෂ කොළඹ හෝටලයක ජෛව බුබුලක් යටතේ පුහුණුව ලබමින් සිටින ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස නම් කිරීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
ඒ අනුව භානුක රාජපක්ෂ හෙට (06දා) දිනයේදී අදාළ හෝටලයේ ජෛව බුබුලක් යටතේ පුහුණුව ලබමින් සිටින ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට සම්බන්ධ වීමට නියමිතය.