ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු කාර්ය සාධන දත්ත විශ්ලේෂක සනත් ජයසුන්දරට අයිසීසීයෙන් වසර 07ක ක්‍රිකට් තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු කාර්ය සාධන දත්ත විශ්ලේෂකයෙකු වූ සනත් ජයසුන්දරට වසර 07ක ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) අද (05දා) පියවර ගෙන තිබේ. ඒ අනුව ඔහුට කිසිදු ආකාරයකින් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීම වසර 07ක් පුරාවට තහනම් වනු ඇත.
ඔහුට මෙම දඬුවම පැනවුණේ අයිසීසීය ඔහු සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයෙන් ඔහු වැරදිකරු වීම හේතුවෙනි.
සනත් ජයසුන්දර 2019 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ එවකට ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට ක්‍රීඩකයින් ඇතුළත් කිරීමකට අදාලව අල්ලස් දීමට උත්සාහ කර තිබුණේ ‘ජාත්‍යන්තර තරඟයක ප්‍රතිපලය, ප්‍රගතිය, හැසිරීම හෝ වෙනත් ඕනෑම අංශයකට අනිසි ලෙස බලපෑම් කිරීම’ යන වගන්තිය උල්ලංඝනය කරමිනි.
ඒ අනුව ඔහුට එරෙහිව සිදු කළ විමර්ශනයෙන් අනතුරුව අයිසීසී දූෂණ මර්දන පනත උල්ලංඝනය කර ඇති බවට අයිසීසී දූෂණ විරෝධී විනිශ්චය සභාව විසින් සනාථ කරනු ලැබීමත් සමග ඔහුට මෙම දඬුවම ලබාදී තිබේ.
එම තහනම ඔහුට එරෙහිව පළමුව තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවූ 2019 වසරේ මැයි 11 වනදා සිට බලපැවැත්වෙන බව අයිසීසීය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

සනාත වූ චෝදනා
2.1.3 වන වගන්තිය – අන්තර්ජාතික තරගයක ප්‍රතිපලය, ප්‍රගතිය, හැසිරීම හෝ වෙනත් ඕනෑම අංශයකට ඕනෑම ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් බලපෑම් කිරීමට රටේ ක්‍රීඩා ඇමතිවරයාට අල්ලස් හෝ වෙනත් ත්‍යාග පිරිනැමීම.
2.4.7 වන වගන්තිය – දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ සිදුවිය හැකි දූෂිත හැසිරීම් පිළිබඳ ACU පරීක්ෂණයකට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම.