ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට්වලට දේශපාලන අතපෙවීම් කරන්නේ නැහැ කිව්වට ‘බැක් ඩේට්’ ගැසට් ගසා ෂම්මි සිල්වා සභාපති කළ හැටි මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2021/23 කාලසීමාව සඳහා වන නිලධාරී මණ්ඩලය තෝරා ගැනීමේදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා බලපෑම් කර ඇති බව වාර්තා වේ. අමාත්‍යවරයා ක්‍රිකට් ඇතුළු ක්‍රීඩාවට දේශපාලන අතපෙවීම් කරන්නේ නැහැ යැයි ප්‍රසිද්ධ මාධ්‍යයේ පැවසුවද මේ අනාවරණය ‘බැක් ඩේට්’ ගැසට් ගසා ෂම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති කළ ආකාරයයි.
මෙවර නිලවරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරුවලට පත්වූ බොහෝදෙනෙක් 1973 අංක 25 දරන ක්‍රීඩා පනත, එම පනතට එකතුවූ සංශෝධන, නීති රෙගුලාසි මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට අනුකූලව බලන කල එම තනතුරුවලට නුසුදුස්සෝ වෙති. ඒ සඳහා ක්‍රිකට් නිලවරණයේදී ප්‍රතිවාදී පාර්ශ්වය යොමු කළ විරෝධතා පිරික්සීමේදී පෙනීයයි.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරුවලට නුසුදුසු පුද්ගලයන් පත්වීම වැලැක්වීමට ශම්මි සිල්වා පාර්ශ්වයේ එක් තනතුරකට (සමන්ත දොඩන්වලගේ නාමයෝජනාවට) හැර අනෙකුත් සියලුම අපේක්ෂකයන්ගේ නාමයෝජනා සඳහා විරෝධතා දක්වා තිබුණි.
මෙම විරෝධතා සඳහා සත්‍ය සහ ලිඛිත සාක්ෂි ලබාදුන්නද ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව එක් පැත්තක් පමණක් කැඳවා (විරෝධතා විමසීමට ප්‍රතිවාදී පාර්ශ්වය කැඳවුයේ නැත) එහි තීන්දුව මාර්තු මස 15 වැනිදා ලබාදුන්නේ පක්ෂග්‍රාහීව කටයුතු කරමින් බවට චෝදනාවක්ද වෙති.
එම තීන්දුවලින් සෑහීමට පත්වීමට නොහැකි වීම නිසා මතිවානන් පාර්ශ්වය (කේ. මතිවානන්, නිශාන්ත රණතුංග සහ බන්දුල වර්ණපුර) ක්‍රීඩා අමාත්‍යවරයාට ඒ සම්බන්ධයෙන් අභියාචනා කළ අතර, ක්‍රීඩා අමාත්‍යවරයා ඊට නිසි විසඳුමක් ලබාදී නොතිබුණි.
අඩුම වශයෙන් එම අභියාචනාවලට කුමක් කළේද යන්න පවා ලිඛිතව දැන්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය අපොහොසත් වී තිබිණ.
මේ අතරතුර ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඇතුළු විධායක කමිටුවේ වසර 02ක ධුර කාලය පෙබරවාරි මස 20 වැනිදායින් නිමාවට පත්විය. එහෙත් ඔවුන් කිසිදු ආකාරයකින් නීති රෙගුලාසි නොතකමින් ව්‍යවස්ථාවද උල්ලංඝනය කරමින් මාස එකහමාරකට වැඩි කාලයක් එම තනතුරුවල රැදී සිටියේය. මේ සම්බන්ධයෙන් සහ නිලවරණයේ විරෝධතා සම්බන්ධයෙන් කෝල්ට්ස් ක්‍රිකට් සමාජය ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපි තුනකින් දැනුවත් කළද (පෙබරවාරි මස 20, මාර්තු මස 04 සහ මාර්තු මස 17) ඊටද නිසි විසඳුමක් නොලැබුණි.
අනතුරුව ෂම්මි සිල්වා ඇතුළු විධායක කමිටුව වසර 02ක ධුර කාලය අවසන් වී ඇති පසුබිමක පෙබරවාරි මස 24 වැනිදා විශේෂ විධායක කමිටු රැස්වීමක් කැඳවා ඔවුනගේ විගණන වාර්තා අනුමත කර පෙබරවාරි මස 25 වැනිදා විගනකාධිපතිවරයා වෙත යොමු කර තිබුණි. මෙයද නීතිවිරෝධී ක්‍රියාවකි.
මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ වත්මන් ක්‍රිකට් පරිපාලනය විධායක කමිටුවේ අනුමැතිය සහිත විගණන වාර්තා නිසිපරිදි විගනකාධිපතිවරයා වෙත යොමු කර නොතිබීමයි.
4. 2016.10.27 වැනි දින නිකුත් කරන ලද 1990/23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද 2016 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝග සංශෝධනය කර 2019 ජූනි මස 18 වැනි දින නිකුත් කරන ලද අංක 2128/8 දරන ගැසට් නිවේදනයේ සංශෝධන අංක (02) 5.(4) (න) වගන්තිය ඉවත්කොට පහත වගන්තිය ආදේශ කිරීමෙන්,
5. (4) (න) III. විධායක කමිටුව විසින් සහතික කරන ලද මූල්‍ය ප්‍රකාශ එක් එක් මූල්‍ය වර්ෂය අවසන් වී මාස 02 ක් ඇතුළත විගණාධිපතිවරයා වෙත ඉදිරිපත් නොකරන ලද ජාතික ක්‍රීඩා සංගම් සභාපති, ලේකම්, භාණ්ඩාගාරික හෝ චෙක්පත් අත්සන් කරනු ලබන වෙනත් නිලධාරියෙකු වේ නම් පරීක්ෂණයක් පවත්වා වරදකරු තීරණය කරනතුරු ඔවුනට නිලවරණය පවත්වනු ලබන ඉදිරි වර්ෂයේ නිලතල සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාව අහිමිවේ’ යන්න මේ සම්බන්ධයෙන් 2020 මාර්තු මස 10 වැනිදා යොමු කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයේ දක්වා තිබුණි.
ඒ අනුව ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා, භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ යන මහත්වරුන්ටද චෙක්පත් අත්සන් කරනු ලබන උපසභාපතිවරුන් වන ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරුන්ට ඉදිරි නිලවරණයට නාමයෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අහිමිව තිබුණි.
මීට හේතුව වී තිබුනේ ඔවුන් ඔවුන්ගේ විගණන වාර්තා සඳහා විධායක කමිටු අනුමැතිය ලබාගෙන ඇත්තේ මෙම වසරේ පෙබරවාරි මස 24 වැනිදා පැවති විශේෂ විධායක කමිටු රැස්වීමකදීය. එහෙත් ඔවුන්ගේ ධුර කාලය පෙබරවාරි මස 20 වැනිදා අවසන්ව ඇති බව නීතිපතිවරයා ක්‍රීඩා අමාත්‍යවරයාට දන්වා තිබුණි. එනිසා එම විගණන වාර්තාවල නීතිමය වලංගුතාවක් නොමැති හෙයින් ඔවුනට නිලවරණයට ඉදිරිපත්වීමට නොහැකිව තිබුණි.
ඒ අනුව කිසියම් සංවිධානාත්මක පිරිසක් එය වළක්වාලන පරිදි පෙබරවාරි මස 17 වැනිදා දින යොදාගනිමින් ක්‍රීඩා අමාත්‍යංශයේ සහය ඇතිව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරගැනීමට සමත් වන්නේ කුඨ ලෙස සියල්ලන්වම රවටමිනි. ඒ හේතුවෙන් ඔවුනට නිලවරණයට තරග කිරීමේ අවස්තාව උදාවිය.
මෙය ‘බැක් ඩේට්’ කළ ගැසට් පත්‍රයක් බව සනාථ කිරීමට ෂම්මි සිල්වාට එරෙහි පාර්ශ්වය වෝහාරික සයිබර් ආරක්ෂණ වාර්තාවක් අදාළ ගැසට් පත්‍රය සම්බන්ධයෙන් ලබාගෙන තිබුණි. අමාත්‍යවරයා කළ සට කපට ක්‍රියාව එමගින් පැහැදිලි වෙයි.
මේ ආකාරයෙන් සටකපට උපායන් මගින් සහ පිටුපස දොරෙන් ක්‍රිකට් ආයතනයේ තනතුරුවලට පැමිණීමට ෂම්මි සිල්වා පාර්ශ්වය කටයුතු කළේය. එහෙයින් එවැනි පිරිස්වලට ක්‍රීඩා අමාත්‍යංශයේ ඇතැම් පිරිස්වල සහය සහ ස්වාධීන නොමැති ක්‍රිකට් නිලවරණ කමිටුවේ සහය හිමිවීමෙන් ඔවුන් කෙසේ හෝ මෙම තනතුරු අල්ලාගෙන කටයුතු කරන බව වැටහිණ.
ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට්වලට දේශපාලන අතපෙවීම් කරන්නේ නැහැ කොතරම් පාරම් බෑවද එම ‘බැක් ඩේට්’ ගැසට්පත්‍රයට අත්සන් කර තිබුණේද වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාමයි. දැන් ඔහු ක්‍රීඩාවට දේශපාලන අතපෙවීම් කරන්නේ නැහැ යැයි පවසන්නේ කුමන කරුණක් උදෙසාද යන්න ඇත්තේ ගැටලුවකි. වත්මන් ක්‍රිකට් අගාධයට යාමට වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා වගකිව යුතු නොවේද?

මෙවර ක්‍රිකට් නිලවරනයේදී විරෝධතා දැක්වූ අපේක්ෂකයන් සහ ඔවුන්ගේ නුසුදුසුකම්
• ෂම්මි සිල්වා – සභාපති
1. ෂම්මි සිල්වා බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේ, කොළඹ ක්‍රිකට් සමාජයේ (CCC) සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. (CH & FC) රග්බි ක්‍රීඩා සමාජයේ සභාපති ධුරය දරයි.
2. විධායක කමිටුව අනුමත කළ විගණන වාර්තා නිසි වෙලාවට ලබා නොදීම
3. ක්‍රිකට් සභාපතිවරයාගේ ධුර කාලය අවසන්ව ඇති මොහොතක නීතිවිරෝධී අයුරින් ක්‍රිකට් විධායක කමිටුව කැඳවීම
4. ක්‍රීඩා පනත උල්ලංඝනය කරමින් උපසභාපති පත් කිරීම.

• ජයන්ත ධර්මදාස – සභාපති
1. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සේවා සැපයීම (PCR ටෙස්ට් කරන්නේ නවලෝක රෝහලයි)
2. ක්‍රිකට් ක්‍රීඩා කර නොමැතිවීම
3. ක්‍රිකට් උපසභාපතිවරයාගේ ධුර කාලය අවසන්ව ඇති මොහොතක නීතිවිරෝධී අයුරින් ක්‍රිකට් විධායක කමිටුවට සහභාගී වීම
4. ඩුබායි අධිකරණයකින් වරදකරු කර දඩ මුදලකට යටත් කිරීම
5. විධායක කමිටුව අනුමත කළ විගණන වාර්තා නිසි වෙලාවට ලබා නොදීම

• ජයන්ත ධර්මදාස – උපසභාපති
1. අඛණ්ඩව දෙවරක් උපසභාපතිවරයා ලෙස පත්ව ඇති පසුබිමක තෙවැනි වරටත් ඉල්ලීමට නොහැකි වීම.
2. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සේවා සැපයීම
3. ක්‍රිකට් ක්‍රීඩා කර නොමැතිවීම
4. ක්‍රිකට් උපසභාපතිවරයාගේ ධුර කාලය අවසන්ව ඇති මොහොතක නීතිවිරෝධී අයුරින් ක්‍රිකට් විධායක කමිටුවට සහභාගී වීම
5. ඩුබායි අධිකරණයකින් වරදකරු කර දඩ මුදලකට යටත් කිරීම.
6. විධායක කමිටුව අනුමත කළ විගණන වාර්තා නිසි වෙලාවට ලබා නොදීම

• ලසන්ත වික්‍රමසිංහ – භාණ්ඩාගාරික
1. භාණ්ඩාගාරිකවරයාගේ ධුර කාලය අවසන්ව ඇති මොහොතක නීතිවිරෝධී අයුරින් ක්‍රිකට් විධායක කමිටුව කැඳවීම
2. විධායක කමිටුව අනුමත කළ විගණන වාර්තා නිසි වෙලාවට ලබා නොදීම
3. ක්‍රීඩා පනත උල්ලංඝනය කරමින් උපසභාපති පත් කිරීම

• මොහාන් ද සිල්වා – ලේකම්
1. මොහාන් ද සිල්වා උතුරුමැද පළාත් ක්‍රිකට් සංගමයේ සභාපති ධුරය දරයි.
2. අඛණ්ඩව දෙවරක් ලේකම්වරයා ලෙස නිලවරණයෙන් පත්ව ඇති පසුබිමක තෙවැනි වරටත් ඉල්ලීමට නොහැකි වීම.
3. විධායක කමිටුව අනුමත කළ විගණන වාර්තා නිසි වෙලාවට ලබා නොදීම
4. ක්‍රිකට් ලේකම්වරයාගේ ධුර කාලය අවසන්ව ඇති මොහොතක නීතිවිරෝධී අයුරින් ක්‍රිකට් විධායක කමිටුව කැඳවීම
5. ක්‍රීඩා පනත උල්ලංඝනය කරමින් උපසභාපති පත් කිරීම
6. ක්‍රීඩා පනතේ 32 වැනි වගන්තිය යටතේ නිවේදනයකට වරදකරුවෙකු වීම.

• මොහාන් ද සිල්වා – සභාපති
1. මොහාන් ද සිල්වා උතුරුමැද පළාත් ක්‍රිකට් සංගමයේ සභාපති ධුරය දරයි
2. විධායක කමිටුව අනුමත කළ විගණන වාර්තා නිසි වෙලාවට ලබා නොදීම
3. ක්‍රීඩා පනත උල්ලංඝනය කරමින් උපසභාපති පත් කිරීම
4. ක්‍රීඩා පනතේ 32 වැනි වගන්තිය යටතේ නිවේදනයකට වරදකරුවෙකු වීම
5. ධුර කාලය අවසන්ව ඇති මොහොතක නීතිවිරෝධී අයුරින් ක්‍රිකට් විධායක කමිටුව කැඳවීම

• රවීන් වික්‍රමරත්න – උපසභාපති
1. ක්‍රිකට් උපසභාපතිවරයාගේ ධුර කාලය අවසන්ව ඇති මොහොතක නීතිවිරෝධී අයුරින් ක්‍රිකට් විධායක කමිටුවට සහභාගී වීම
2. විධායක කමිටුව අනුමත කළ විගණන වාර්තා නිසි වෙලාවට ලබා නොදීම
3. ක්‍රීඩා පනතේ 32 වැනි වගන්තිය යටතේ නිවේදනයකට වරදකරුවෙකු වීම
4. තරග පාවාදීමේ චෝදනාවලට වරදකරුවෙකු වීම
5. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සේවා සැපයීම
6. ක්‍රීඩා පනත උල්ලංඝනය කරමින් උපසභාපති පත් කිරීම
7. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කිරීම

• නලින් අපොන්සු – ලේකම්
1. ක්‍රිකට් ක්‍රීඩා කර නොමැතිවීම
2. අවුරුදු 02ක් ක්‍රිකට් විධායක කමිටුවේ නොසිටීම
3. මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරයි
4. නලින් අපොන්සු ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ සභාපති ධුරය දරයි

• නලින් අපොන්සු – උපසභාපති
1.ක්‍රිකට් ක්‍රීඩා කර නොමැතිවීම
2. අවුරුදු 02ක් ක්‍රිකට් විධායක කමිටුවේ නොසිටීම
3. මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරයි

• බන්දුල දිසානායක – උපසභාපති
1. ක්‍රිකට් ක්‍රීඩා කර නොමැතිවීම
2. ධුර කාලය අවසන්ව ඇති මොහොතක නීතිවිරෝධී අයුරින් ක්‍රිකට් විධායක කමිටුවට සහභාගී වීම
3. ක්‍රිකට් තරගාවලියට එක්ව වැටුපක් ලබාගැනීම
4. විධායක කමිටුව අනුමත කළ විගණන වාර්තා නිසි වෙලාවට ලබා නොදීම

• බන්දුල දිසානායක – ලේකම්
1. ක්‍රිකට් ක්‍රීඩා කර නොමැතිවීම
2. ධුර කාලය අවසන්ව ඇති මොහොතක නීතිවිරෝධී අයුරින් ක්‍රිකට් විධායක කමිටුවට සහභාගී වීම
3. ක්‍රිකට් තරගාවලියට එක්ව වැටුපක් ලබාගැනීම
4. බන්දුල දිසානායක කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ධුරය දරයි
5. විධායක කමිටුව අනුමත කළ විගණන වාර්තා නිසි වෙලාවට ලබා නොදීම

• බන්දුල දිසානායක – උපලේකම්
1. ක්‍රිකට් ක්‍රීඩා කර නොමැතිවීම
2. ධුර කාලය අවසන්ව ඇති මොහොතක නීතිවිරෝධී අයුරින් ක්‍රිකට් විධායක කමිටුවට සහභාගී වීම
3. ක්‍රිකට් තරගාවලියට එක්ව වැටුපක් ලබාගැනීම
4. විධායක කමිටුව අනුමත කළ විගණන වාර්තා නිසි වෙලාවට ලබා නොදීම

• ක්‍රිශාන්ත කපුවත්ත – උපලේකම්
1. ධුර කාලය අවසන්ව ඇති මොහොතක නීතිවිරෝධී අයුරින් ක්‍රිකට් විධායක කමිටුව කැඳවීම
2. ක්‍රිකට් ක්‍රීඩා කර නොමැතිවීම
3. විධායක කමිටුව අනුමත කළ විගණන වාර්තා නිසි වෙලාවට ලබා නොදීම
4. ක්‍රීඩා පනත උල්ලංඝනය කරමින් උපසභාපති පත් කිරීම

• සුජීව ගොඩලියද්ද – උපලේකම් (නාමයෝජනාව ඉවත් කරගෙන තිබුණි)
1. ධුර කාලය අවසන්ව ඇති මොහොතක නීතිවිරෝධී අයුරින් ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීම
2. ක්‍රිකට් ක්‍රීඩා කර නොමැතිවීම
3. විධායක කමිටුව අනුමත කළ විගණන වාර්තා නිසි වෙලාවට ලබා නොදීම
4. ක්‍රීඩා පනත උල්ලංඝනය කරමින් උපසභාපති පත් කිරීම

• සුජීව ගොඩලියද්ද – උපභාණ්ඩාගාරික
1. ගිණුම් පිලිබඳ අවශ්‍ය සුදුසුකම් නොමැත.
2. ධුර කාලය අවසන්ව ඇති මොහොතක නීතිවිරෝධී අයුරින් ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීම
3. විධායක කමිටුව අනුමත කළ විගණන වාර්තා නිසි වෙලාවට ලබා නොදීම
4. ක්‍රීඩා පනත උල්ලංඝනය කරමින් උපසභාපති පත් කිරීම

• සුජීව ගොඩලියද්ද – භාණ්ඩාගාරික (නාමයෝජනාව ඉවත් කරගෙන තිබුණි)
1. සුජීව ගොඩලියද්ද උතුරුමැද පළාත් ක්‍රිකට් සංගමයේ සහ මාතලේ ක්‍රිකට් සංගමයේ ලේකම් ධුර දරයි
2. ගිණුම් පිලිබඳ අවශ්‍ය සුදුසුකම් නොමැත.
3. ධුර කාලය අවසන්ව ඇති මොහොතක නීතිවිරෝධී අයුරින් ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීම
4. විධායක කමිටුව අනුමත කළ විගණන වාර්තා නිසි වෙලාවට ලබා නොදීම
5. ක්‍රීඩා පනත උල්ලංඝනය කරමින් උපසභාපති පත් කිරීම

• ශම්මි ගුණසේකර – උපලේකම්
1. ක්‍රිකට් ක්‍රීඩා කර නොමැතිවීම

• ආනන්ද කුමාර – උපභාණ්ඩාගාරික(නිලවරණ කමිටුවෙන් ප්‍රතිචාර ලැබී නොතිබුණි)
1. අවුරුදු 02ක් ක්‍රිකට් විධායක කමිටුවේ නොසිටීම