ඊෂි කෑෂ් ක්‍රමයට කුඩු ජාවාරම් කළ පොලිස් ලොක්කා මාට්ටු

ඊසි කෑෂ් ක්‍රමයට මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ අනුරාධපුර පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ ස්ථානාධිපති චින්තක කෝරලේගෙදර නමැත්තා රුපියල් පන් ලක්ෂයක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු පැකට් 77 ක්, ඒ සඳහා යොදා ගත් ජංගම දුරකථන ඇතුළු විවිධ පුද්ගලයින්ගේ හැඳුනුම්පත් රැසක් සමග අනුරාධපුර පොලිසිය මගින් අද (18දා) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර පොලිස් පරීක්ෂකවරයා සන්තකයේ තිබු කුඩා ප්‍රමාණයේ හෙරොයින් මත්කුඩු පැකට් 64 ක්, විශාල ප්‍රමාණයේ මත්කුඩු පැකට් 13 ක් ,ඊෂි කෑෂ් ක්‍රමයට මත්කුඩු අලෙවියට භාවිත කළ සිම්පත් සහිත ජංගම දුරකථන 10ක්, තවත් ජංගම දුරකථන සිම්පත් 12ක්, රියැදුරු බලපත් 02 ක්, විවිධ පුද්ගලයින්ගේ පුරවැසි හැඳුනුම් පත් 05ක්, බැංකු කාඩ් පත් 02 ක් සහ මත්ද්‍රව්‍ය අලෙවිය සඳහා භාවිත කළ යතුරුපැදියක් වැටලීම කළ නිලධාරින් සිය භාරයට ගෙන ඇත.