චීනයෙන් ආනයනය කල දුම්රිය උඩරටට

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව චීනයෙන් ආනයනය කරන ලද නවීනතම පහසුකම්වලින් යුත් දුම්රිය පසුගිය 20 වැනිදා කොළඹ කොටුවේ සිට බදුල්ල දුම්රිය ස්ථානය දක්වා පරීක්ෂණ චාරිකාවකට එක් කෙරිණ.

මෙය එන්ජින් දෙකකින් සහ මැදිරි අටකින් සමන්විත බවද, සුළු තාක්ෂණික දෝෂ තිබුණද, මෙම දුම්රිය  උඩරට දුම්රිය ධාවනයට සුදුසු බවද දුම්රිය ධාවනයට එක් වු දුම්රිය නියාමක නිලධාරීහු කියා සිටියහ.

මෙම දුම්රියේ වායු සමීකරණය කරන ලද පළමු පන්තියේ මැදිරි දෙකක්, දෙවන පන්තියේ මැදිරි දෙකක්, තුන්වන පන්තියේ මැදිරි තුනක්, ආපන ශාලාවක් මෙන්ම එම ආපන ශාලාව තුළ ආබාධිත අයට විශේෂ පහසුකම් සලසා ඇති බව විශේෂ දුම්රියේ චාරිකාවට එක් වූ දුම්රියේ ප්‍රධාන නියාමක ආලෝක ජයසිංහ මහතා කියා සිටියේය.

උඩරට දුම්රිය ධාවනයට සුදුසු තත්ත්වයේ තිරිංගු පද්ධතියකින් සහ කන්ද උඩරට ධාවනය උචිත සේ එන්ජින් ධාරිතාවකින් මෙම දුම්රිය සමන්විත බවද අලෝක ජයසිංහ මහතා පැවසීය.