දසුන්ගේ කොදෙව් ගමන ප්‍රමාද වෙයි

විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කළ ශ්‍රී ලංකා සංචිතය අද (23 වැනිදා) කොදෙව් දේශය බලා පිටත්ව ගියේය. කෙසේ වෙතත් කොදෙව් සංචාරයේදී විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙසින් කටයුතු කරන දසුන් ශානකට සෙසු ක්‍රීඩකයන් සමගින් ඊයේ එම සංචාරයට පිටත්වීමට නොහැකි වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටී.
ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා කරන ආකාරයට දසුන් ශානකගේ විසා සම්බන්ධයෙන් මතු වූ ගැටළුවක් හෝතුවෙන් ඔහුට අද දිනයේදී සිය කණ්ඩායම සමගින් කොදෙව් දේශය බලා පිටත්ව යෑමට නොහැකි වී තිබේ. ඇමරිකාව සඳහා වසර 5කට වලංගු වීසා ඇතුළත් දසුන් ශානකගේ විදෙස් ගමන් බලපත්‍රය මීට වසර දෙකකට පෙර අස්ථාන ගත වී තිබේ. අනතුරුව නැවත නව විදෙස් ගමන් බලපත්‍රයක් දසුන් විසින් ලබාගෙන් තිබේ. කෙසේ වෙතත් කොදෙව් සංචාරය සඳහා වීසා ලබාදීමේදී දසුන්ගේ පෙර අස්ථාන ගතවූ විදෙස් ගමන් බලපත්‍රය කවුරුන් හෝ අවභාවිත කරනවාද යන්න සොයා බැලිය යුතු බවට ඇමරිකානු එම්බසිය දන්වා තිබේ. ඒ අනුව දසුන්ගේ වීසා බලපත්‍රය ලබා දීම තව දින කිහිපයක් ප්‍රමාද වන බව දන්වා තිබේ.
කෙසේ වෙතත් අස්ථාන ගතවූ විදෙස් ගමන් බලපත්‍රය වෙනුවෙන් නව විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේදී ඇමරිකානු එම්බසිය සමගින් සාකච්ඡා කළ යුතුව තිබුණි. එහිදී සංචිතයේ ළහිරු තිරිමාන්නට සහ පුහුණුකරුට කොරෝනා ආසාදනය වීමෙන් අදාළ සංචිතයේ සිටි දසුන් ශානකකට නිරෝධායනය වීමට සිදුවීම මත එම අවස්ථාවද මග හැරී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා කරන ආකාරයට මෙම කරුණු හේතුවෙන් දසුන්ගේ කොදෙව් ගමන ප්‍රමාද වී තිබේ. කෙසේ වෙතත් ඉදිරියේදී කඩිනමින් මෙම ගැටළුව විසඳා ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් සඳහන් කර සිටී.