ඩෙංගු වලට තිත තියන්න චක්‍රලේඛයක්

පාසල් ඉදිකිරීම්, වැඩ බිම් සහ පොදු ස්ථාන ඩෙංගු මදුරුවන් බෝ විය හැකි අවදානම් ස්ථාන ලෙස හඳුනා ගෙන ඇති අතර, ඒ අනුව ඉදිකිරීම් වැඩ බිම් ස්ථානවල ජලය එක්රැස්වීම වැළැක්වීම සඳහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග ඇතුළත් චක්‍රලේඛයක් ඉදිකිරීම් අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් නිකුත් කිරීමට කටයුතු කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ අනුර ජයසේකර මහතා ප්‍රකාශ කර තිබේ.

ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා ගතයුතු කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීම හා ගතයුතු විධිමත් ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්‍ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් සහ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යාලයේදී පවත්වා ඇත.

ඩෙංගු මදුරු මර්දන කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වි‌ශේෂිත පරීක්‍ෂණ ඒකකයක් ස්ථාපිත කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර තිබේ.

මෙම සාකච්ඡාවේදී ඩෙංගු මර්දන වැඩසටහන් සඳහා ජාතික මට්ටමේ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

මෙහිදී විශේෂයෙන්ම ජනතාව ඩෙංගු මදුරු මර්දන කටයුතු පිළිබඳ දැනුවත් කිරීම හා උනන්දුව ඇති කිරීම සඳහා රූපවාහිනී, ගුවන් විදුලි, මුද්‍රිත හා සමාජ මාධ්‍යවල සහාය ජාතික කර්තව්‍යක් සේ සලකා ලබාගැනීමේ අවශ්‍යතාවද සාකච්ඡාවට ගෙන තිබේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි වී ඇත.