හරක්කටාගේ කෝටි 330 ක කුඩු කුඩේ කුඩු වු හැටි…

මෙම මෙහෙයුම මගින් හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 3300 ක් පමණ අත්අඩංගුවට ගත් අතර එහි වටිනාකම රුපියල් මිලියන 3300 කට අධික බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කර සිටී. අත්අඩංගුවට ගත් ‘සුරේෂ් පුතා’ බහුදින ධීවර යාත‍්‍රාවේ ඉතා සූක්‍ෂ්ම ලෙස සඟවා මෙරටට ප‍්‍රවාහන කරමින් තිබූ මෙම හෙරොයින් තොගය ඩුබායි හි සිටින ‘හරක්කටා’ ගේ සමීපතම සගයන් දෙදෙනකු වන ‘‘රන් මල්ලී’’ හා ‘ජෝති’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා විසින් ඩුබායි හි සිට මෙරටට එවීමට කටයුතු කර ඇති බව මේ වනවිට අනාවරණයව පවතී.

අත්අඩංගුවට ගත් ‘සුරේෂ් පුතා’ බහුදින ධීවර යාත‍්‍රාවේ හිමිකරු පිළිබඳව මෙතෙක් සිදු කළ විමර්ශන ආදියෙන් හෙළිදරව් වී ඇති කරුණුවලට අනුව මීට මාස හයකට පමණ පෙර ඔහු විසින් රුපියල් කෝටි ගණනක් වටිනාකමකින් යුත් අඩි 40 ක් පමණ දිගකින් යුත් බහුදින ධීවර යාත‍්‍රා හතරක් පමණ අලූතින් මිලදීගෙන ඇත.

එහිදී විමර්ශන කණ්ඩායම් විසින් වැඩිදුරටත් ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමේදී බහුදින යාත‍්‍රවේ හිමිකරු ප‍්‍රකාශ කර ඇත්තේ. අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය වෙනත් යාත‍්‍රාවක් මගින් ‘සුරේෂ් පුතා’ බහු දින ධීවර යාත‍්‍රාවට ලබාදුන් බවත් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී සිදුවන එම හුවමාරුවෙන් අනතුරුව එම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන එන ලෙස ඩුබායි හි සිට තවත් පිරිසක් තමන්ට උපදෙස් ලබාදුන් බවය. ඒ සඳහා රුපියල් ලක්‍ෂ පහක මුදලක් සහ සැටලයිට් දුරකථනයක් ලබාදීමට එම උපදෙස් දුන් පිරිස කි‍්‍රයාකළ බවත් බහුදින ධීවර යාත‍්‍රාවේ හිමිකරු විසින් එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත. යම් හෙයකින් එම නියෝගය ක‍්‍රියාත්මක නොකළහොත් තමන්ව මරා දමන බවට ද ඩුබායි හි සිටින පුද්ගලයන් තර්ජනය කළ බවද පොලිස් ප‍්‍රශ්න කිරිම් හමුවේ ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කර ඇත.

මෙම සිදුවීම් හරහා හෙළිදරව් වෙමින් පවතින්නේ මෙරට කේන්ද්‍රකොට ගනිමින් පවතින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ වත්මන් මුහුණුවරය ආසන්න වසර දෙකක පමණ කාලය ගත් විට කලාපීය බුද්ධි තොරතුරු ජාලය හා මෙරට ආරක්‍ෂක අංශ එක්ව මෙවැනිම වැටලීම් රාශියක් සිදු කර ඇත. ධීවර ප‍්‍රජාව යොදා ගනිමින් මුහුදු මාර්ග ඔස්සේ ක‍්‍රියාත්මක මෙම ජාවාරම හරහා ඉකුත් වර්ෂයේ පමණක් මෙරටට ගෙන්වීමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 1460 ක් පමණ අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා නාවික හමුදාව එක්ව සිදු කළ මෙහෙයුම් හරහා සමත් වී ඇත.

ඊට අමතරව ඒ. කේ. 47 රයිෆල් ඇතුළු තවත් අවි ආයුධ ආදියද අත්අඩංගුවට ගෙන ඇත. වයඹ, දකුණ, සහ උතුර මුහුදු තීරයන් කේන්ද්‍ර කර ගනිමින් වැඩි වශයෙන් මෙම ජාවාරමේ නිරත ජාවාරම්කරුවන් තම ජාවාරම් පිණිස අතරමැදියන් ලෙස යොදා ගනු ලබන්නේ මෙරට ධීවර ප‍්‍රජාව සහ බහුදින ධීවර යාත‍්‍රාවන්ය. අධික මුදල් ප‍්‍රදානයන් හා වෙනත් වරදාන, වරප‍්‍රසාද පිරිනමමින් ධීවරයන් මාර්ගයෙන් මෙරටට මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීම මෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ ප‍්‍රධාන උපක‍්‍රමය බවට පත්ව ඇත. ‘කුඩු’ පමණක් නොව ‘රට’ වුවද මුදලට විකිණිය හැකි නම් ඊට පසුබට නොවන මිනිසුන් වෙසෙන රටක එය පුදුමයට පත් විය යුතු නැති කරුණක් ලෙස සාමාන්‍යකරණය වෙමින් ඇත.

කෙසේ වෙතත් මෙම මහා පරිමාණ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවරමේ අවසන් බිල්ල බවට පත් වන්නේ මෙරට ධීවර ප‍්‍රජාවය. දැන හෝ නොදැන සිදු කරන මෙම ක‍්‍රියාව හේතුවෙන් ධීවරයන් විශාල වශයෙන් මෙරට සහ ඉන්දියාවේ සිරබත්වල රස බලන්නන් බවට පත් වෙමින් ඇත. ඒ අතරට බහුදින ධීවර යාත‍්‍රා හිමිකරුවන්ද අයත්ය. ජාවාරම් සිදු කළ හැකි වන්නේ නීතියේ රැහැනට කොටුවන තෙක් පමණය. මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය, ළඟ තබාගැනීම, අලෙවිය දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ බරපතළ දඬුවම් ලැබිය හැකි සමාජ විරෝධී ක‍්‍රියාවන්ය. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සුරසැප විඳිමින් පසුවන අතර උන්ට බැලමෙහෙවර කිරීමට යෑමේදී මෙරට ධීවරයන් නීතියෙ රැහැනට කොටුවනු ලබන්නේ ඒ නියමයට අනුවය.

රුවන් ජයවර්ධන