වතුරෙනුත් යන කාර් හදන අපේ පුංචි වීරයා

බොහෝ දෙනකු සිතා සිටින්නේ කොරෝනා වසංගතය ආශිර්වාදයක් වී ඇත්තේ සටකපට කූට ව්‍යාපාරිකයින්ට හා අවස්ථාවාදී දේශපාලකයින්ට පමණක් බවය. සමාජය පුරා දෝංකාර දෙන විට මතය සම්පූර්ණ සත්‍යයක්ම නොවන වග පසක් කරමින් කොරෝනා ව්‍යසනයත් සමග ලැබුණු විවේකය රටක් වටිනා නව නිර්මාණයක් බිහිකිරීම උදෙසා යොදාගත් 18 හැවිරිදි පාසල් සිසුවකු පසුගියදා සමාජයේ බොහෝදෙනාගේ අවධානය දිනාගත්තේය.

මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ 13 වන වසරේ තාක්ෂණ අංශයෙන් අධ්‍යාපනය ලබන කවිඳු නිම්සර ගමගේ නමැති මෙම දිරිමත් තරුණ සිසුවා ස්වෝත්සාහයෙන් වසර දෙකක පමණ වෙහෙසක් දරා නිපදවූ මෝටර් රථය කලඑළි දැක්වීමට ඉකුත් 26 දා තමාට අකුරු කියාදුන් විදුහල් මාතාවගේ භූමිය වෙත රැගෙන ආවේ මහත් අභිමානයෙන් යුතුවය.

කවිඳුගේ මෙම අනගි නිර්මාණය ඇගයීමට මහරගම මැදි මහා විදුහල් මාතාවට නායකත්වය සපයන එන්. සී. සී. ජයසිංහ මහත්මිය තමාට හැකි උපරිමයෙන් කටයුතු කළාය. කවිඳු සිය පාසල් මිතුරන්ගේ හරසර මැදින් තම කුළුදුල් නිර්මාණයේ නැගී පාසල් ප‍්‍රවේශ මාර්ගය ඔස්සේ ඉගිල ගියේ රැස්ව සිටි විදුහලේ ගුරු දෙගුරු, දරු දැරියන්ගේ නෙතඟට සතුටු කඳුළක් එක්කරමිනි.

සිය නිර්මාණය පිළිබඳව අදහස් දැක්වූ කවිඳු මෙසේ කීවේය.

කොරෝනා විවේකයෙන් මෝටර් රථයක් තැනූ පුංචි කාර්මිකයා

මම මේ නිර්මාණයට යොදා ගන්තේ ඔක්කොම තී‍්‍රවිල්වලින් හා මෝටර් සයිකල්වලින් ඉවත් කරන කෑලි. මට ඒවා ගන්න සල්ලි තිබුණෙ නැහැ. තාත්තගෙන් ඉල්ල ගත්ත සල්ලි මදි වුණාම මම කොරෝනා කාලෙ කුලී වැඩට ගිහිල්ල සල්ලි හොයාගෙන තමයි මේ කාර්එක හැදුවේ. මේකෙ වැල්ඩින් එකේ ඉඳලා වයරින් එකට එනකල් ඔක්කොම කළේ මගෙ අත් දෙකෙන්. මට මේ වැඬේ ඉවර කර ගන්න රුපියල් ලක්ෂ දෙකක් විතර වියදම් වුණා. පැයට කිලෝමීටර් 60 ක් 70 ක් විතර වේගයෙන් මේ කාර්එක පදවන්න පුළුවන්. මට කවුරු හරි උදව් කරනවානම් මීට වඩා හොඳ නිර්මාණ කරල මගේ රටට සේවය කරන්න පුළුවන්. කොරෝනා කාලෙ ඉස්කෝලෙත් නැති නිසා මම කල්පනා කළා වැඩක් ඇති වැඩක් කරන්න ඕනෑ කියලා. එහෙම හිතල තමයි ෆෝමියුලා වර්ගයේ මේ මෝටර් රථය නිර්මාණය කළේ. මම දැන් අත්හදා බලාගෙන යන්නේ මේ මෝටර් රථය වතුරෙන් දුවන්න පුළුවන් විදියට හදන්න. ඒකත් සියයට 50 ක් විතර සාර්ථකයි. ඉතිරි ටික කරන්න මට සහයෝගය ඕනෑ.

මගේ තාත්තා තී‍්‍රවිල් රියැදුරෙක්. ඉතින් මට තාත්තගෙන් මේ හැමදේකටම සල්ලි ඉල්ලන්න බැහැ. ඒ නිසා කවුරු හෝ මට අත දෙන්න ඉදිරිපත් වෙනවා නම් මට හොඳටම විශ්වාසයි රටට මේ වෙලාවේ අවශ්‍යම කරන උපකරණ මට නිර්මාණය කරලා දෙන්න පුළුවන් කියලා.

විවේකයක් ලැබෙන සෑම මොහොතකම ජංගම දුරකථනයෙන් සමාජ ජාලවල සැරසරන පාසල් දරුවන්ට කවිඳු ලබා දුන්නේ මොන තරම් ආදර්ශයක් දැයි අපට සිතේ. විවිධ සිත් දූෂණය වන කි‍්‍රයාකාරකම් නරඹමින් කාලය කාදමන තරුණයන් අතර කවිඳු වීරයෙක් ලෙස හඳුන්වා දීම අතිශයෝක්තියක් නොවේ. එහෙත් මෙවැනි මිණිකැට වන් යොවුන් නිර්මාණකරුවන් තිඹිරිගෙය තුළම මිහිදන් නොකොට ඔවුන්ගේ නිර්මාණවලට අතදී ඒ තුළින් රටට හා අනාගත පරපුරට සේවයක් ලබා ගැනීම බලධාරීන්ගේ වගකීමය.

කමල් බෝගොඩ