එංගලන්තය එක් දින තරග ලෝක වාර්තාව යළි අලුත් කරයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම එක්දින තරගයක දී ඔවුන් විසින්ම තබා තිබූ වාර්තාවද බිඳ හෙළමින් මෙතෙක් කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඊයේ (17දා) සමත් වූයේ නෙදර්ලන්තයට එරෙහිව කඩුලු 4කට ලකුණු 498ක් ලබා ගනිමිනි.
මෙසේ එංගලන්තය ලෝක ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරමින් පන්දුවාර 50ක් තුළ කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 498ක් රැස් කරගන්නා විට 2018 වසරේ ඔවුන් විසින්ම ඕස්ට්‍රේලියාවට එරෙහිව තැබූ එක් දින වාර්තාව (පන්දුවාර 50කදී කඩුලු 6කට ලකුණු 481) බිඳී ගියේය.
නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරඟාවලියේ ප්‍රථම තරගයේ දී එංගලන්ත කණ්ඩායම මෙම වාර්තාව පිහිටුවන විට නෙදර්ලන්තයට ලකුණු 232ක පරාජයක් උරුම වූ අතර එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජෝස් බට්ලර් 4 පහර 7ක් සහ 6 පහර 14ක් සමඟින් පන්දු 70කදී වේගවත් ලකුණු 162ක් රැස් කරගැනීමට සමත් විය. තවද පිලිප් සෝල්ට් පන්දු 93කින් ලකුණු 122ක් (4 පහර 14ක් සහ 6 පහර 3ක් සමඟ), ඩාවිඩ් මලාන් පන්දු 109ක දී ලකුණු 125ක් (4 පහර 9ක් සහ 6 පහර 3ක් සමඟ) සහ ලයම් ලිවින්ස්ටෝන් පන්දු 22කදී නොදැවී ලකුණු 66ක් ලෙස රැස්කරමින් නව ලෝක වාර්තාවට දායක වූහ.