වසර 20ක වාර්තා බිඳ දමමින් ශ්‍රී ලංකාව එක් දින තරගාවලියේ ඉදිරියට

පැතුම් නිශ්සංකගේ විශිෂ්ඨ මංගල එක්දින ශතකයත් සහ කුසල් මෙන්ඩිස් පන්දු 85කදී ලකුණු 87ක් ලබා ගනිමින් දැක්වූ විශිෂ්ඨ පිතිහරඹය සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දස්කම් හේතුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාව හඹා ගොස් තුන්වැනි එක් දින තරගය ජයගත් නිසා තරග දෙකක් ඉතිරිව තිබියදී තරඟ 2-1ක් ලෙස ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (19දා) සමත් විය.
නිශ්ශංක හා මෙන්ඩිස් දෙවැනි කඩුල්ලට එක් කළ ලකුණු 170ක සබඳතාව ඕස්ට්‍රේලියානු කණ්ඩායමකට එරෙහිව 2වැනි කඩුල්ල සඳහා පිහිටවූ නව එක් දින තරග වාර්තාවක්ද වන අතර මින් පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 2006 වසරේදී සිඩ්නිහිදී 2වැනි කඩුල්ල වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 163ක් රැස්කළ සනත් ජයසූරිය සහ කුමාර් සංගක්කාරය.
ශ්‍රී ලංකා ජයග්‍රහණයට පාදක වූ එම සබඳතාවය අවසන් වී මස්පිඬු වල ඇතිවූ ආබාධිත තත්ත්වයක් මත ඉනිම නතර කොට කුසල් මෙන්ඩිස් ක්‍රීඩාගාරයට යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව එක් කඩුල්ලකට ලකුණු 212ක් ලෙස සටහන් විය.
කාහටත් අමතක නොවන ඉනිමක් දියත් කළ පැතුම් නිශ්සංක පන්දු 147 කදී ලකුණු 137 ක් ලබා සිටියදි 48 වැනි පන්දුවාරයේ පළමු පන්දුවට දැවී යනවිට හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 කින් වර්ණවත් කළ තිබූ අතර නිශ්සංකගේ එමඉනිම ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකා පිතිකරුවකු රැස්කරන ලද ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන් විය. මින් පෙර හිටපු නායක සනත් ජයසූරිය 2003 වසරේ සිඩ්නි ක්‍රීඩාංගණයේදී රැස් කරන ලද ලකුණු 122 ශ්‍රී ලංකා පිතිකරුවකු රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව විය.
මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමක් හඹා යමින් ජයගෙන ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත්ව තිබුණේ 2012 වසරේදී හෝබාට්හි පැවැති තරගයේ කඩුලු 7 ක් දැවී රැස් කරන ලද ලකුණු 283 වේ. ආර්.ප්‍රේමදාස පිටියේදී කණ්ඩායමක් හඹා ගොස් ජය ගත් වැඩිම එක් දින ලකුණු සංඛ්‍යාවද මෙය වන අතර මින් පෙර 2012 වසරේදි ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව හඹා ගොස් ජයගත්තේ කඩුලු 5කට ලකුණු 288 වාර්තා කරමිනි. තවද ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා එක් දින ක්‍රිකට් ඉතිහාසයේ නොකඩවා තරග දෙකකදී ඕස්ට්‍රේලියාව පරාජයට පත්කිරීමට හැකිවූයේ වසර 20කට පසුව වීමද
විශේෂත්වයකි.
මෙවන් වාර්ත ගත ජයග්‍රහණයකට නායක දසුන් ශානක අතුළු සියලුම ක්‍රීඩකයින්ගේ දායකත්වය ලැබුණ අතර පිතිකරුවන් ලෙස නිරෝෂන් දික්වැල්ල (25) , ධනංජය ද සිල්වා (25) හා චරිත් අසලංක (13) වේගවත්ව ලබා ගත් ලකුණු සංඛ්‍යාවන් ලකුණු 292ක් හඹා ගොස් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිලට ශක්තියක් විය. පන්දු යැවීමේදී ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 3ක්ද සහ චමීර,ධනංජය සහ වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් ලබා දස්කම් දැක්වූ නිසාම ඕස්ට්‍රේලියාව කඩුලු 6කට ලකුණු 291ක් වාර්තා කරන විට ඔවුන්ගේ වැඩිම ලකුණු ලාභියා වූයේ පන්දු 65කදී නොදැවී ලකුණු 70ක් ලබා ගත් ට්‍රැවිස් හෙඩ්ය. ඊට අමතරව ඔවුන්ගෙන් වාර්තා වූ එකම අර්ධ ශතකය වූයේ නායක ඇරන් ෆින්ච් පන්දු 85කදී ලබා ගත් ලකුණු 62යි. පන්දු යැවීමේදී ජායි රිචර්ඩ්සන් කඩුලු 2ක් දවාගත් අතර හැස්ල්වුඩ් හා මැක්ස්වෙල් ලබා එක් කඩුල්ල බැගින් පමණි.

ඕස්ට්‍රේලියාව කඩුලු 6කට 291 (හෙඩ් 70*, ෆින්ච් 62, වැන්ඩර්සේ 3-49)
ශ්‍රී ලංකාව කඩුලු 4කට 292 (නිශ්ශංක 137, මෙන්ඩිස් 87, ජායි රිචර්ඩ්සන් 2-39)

ඡායාරූප අයිතිය – ශ්‍රී ලංකා ක්‍රිකට්