වසර 30ක ඉතිහාසය වෙනස් කරමින් ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව එක් දින තරගාවලිය ජය ගනී

දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ සාමූහික දක්ෂතාවන් මෙන්ම තම මංගල එක්දින ශතකය වාර්තා කළ අසලංකගේ දක්ෂ පිතිහරඹය නිසා ඕස්ට්‍රේලියාව පරදා සිව්වැනි එක් දින තරගය ලකුණු 4කින් ජයගැනිමටත් තරගාවලිය 3-1ක් ලෙස ජයගැනීමටත් ශ්‍රී ලංකාව ඊයේ (21දා ) සමත් විය.
එනම් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති සිව්වැනි එක්දින තරගයෙන් ලකුණු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමඟ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම තරග 5කින් යුත් තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර වසර 30කට පසු ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව මව්බිමේදී ලැබූ පළමු තරඟාවලි ජයග්‍රහණය ලෙසද මෙය සටහන් වනු ඇත.
නොකඩවා 7වැනි වතාවටත් කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු නායක ෆින්ච් ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දු 11ක් ඉතිරිව තිබියදී ලකුණු 258කට දැවී යාමෙන් පසුව එය හඹා ගිය ප්‍රතිවාදීන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 9කට ලකුණු 254ක් පමණි.
දසුන් ශානක යැවූ අවසන් පන්දුවාරයේදී ලකුණු 19 ක අභියෝගයක් ඔස්ට්‍රේලියානුවන් හමුවේ පැවැති අතර එහිදී පළමු පන්දු 5 ට ලකුණු 14 ක් රැස් කිරිීමට මැතිව් කුනේමන් සමත් වෙමින් තරගය ජයග්‍රහණය සඳහා රැගෙන යෑමට දැඩි උත්සායක නිරත විය.එහෙත් අවසන් පන්දුවේදී පන්දු 12කදී ලකුණු 15ක් ලබා සිටි කුනේමන් චරිත් අසලංක අතට උඩපන්දුවක දී දැවි ගියේ එක්දින ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානයේ රැදී සිටින ඕස්ට්‍රේලියාවට නෙකඩවා 3වැනි එක් දින තරග පරාජයක්ද උරුම කර දෙමිනි.
පළමුව පන්දුවට පහර දුන් පිතිකරුවන් තිදෙනෙකුම ලකුණු 34ක් තුළ ක්‍රීඩාගාරයට ගොස් තිබූ මෙහොතක තරගයේ වීරයාද වූ චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා 4වැනි කඩුල්ල සඳහා තැබූ ලකුණු 101ක සබඳතාව ශ්‍රී ලංකාවේ මෙම ඓතිහාසික ජයග්‍රහණය කරා යාමට පාදක විය. ඉන් පසුව ශානක, වැන්ඩර්සේ සහ තීක්ෂණ යන තිදෙනාම දුවද්දී දැවී යාම නිසා අඩපන වූ ඉනිම නැවත ශක්තිමත් කරන්නට අසලංක හා හසරංග 8වැනි කඩුල්ල වෙනුවෙන් එකතු කළ ලකුණු 34ද වැදගත් විය. එසේම පන්දු 61කින් ලකුණු 60ක් ලබා ගත් ධනංජය ලකුණු 39කට කඩුලු 2ක් දවා ගනිමින් තම තුන් ඉරියව් දස්කම් යළිත් පෙන්නුම් කළ අතර චාමික කරුණාරත්න (2-19) හා වැන්ඩර්සේ (2-40) පන්දු යැවීමෙන් කැපී පෙනුනි.
කෙසේ වෙතත් දඟ පන්දු යවන්නන් පස්දෙනෙකු ගෙන් යුත් බළඇණියකට එරෙහිව සටන් කළ ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් ලකුණු 112 කින් 99 ක් ඕස්ට්‍රේලියාවට ජයග්‍රහණයක් සඳහා මාර්ගයක් සකසා දුන්නද කේරි හා ට්‍රවිස් හෙඩ්ට හැර අනෙක් පිතිකරුවන්ට ලකුණු 30 සීමාව පසු කරන්නට ඉඩක් නොලැබුණි.
ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී 258 (අසලංක 110, ද සිල්වා 60, මාෂ් 2-29, කමින්ස් 2-37, කුනමන් 2-56) ඕස්ට්‍රේලියාව- 254 (වෝනර් 99, කමින්ස් 35, කරුණාරත්න 2-19, ද සිල්වා 2-39) ,
වැන්ඩර්සේ 2-40)