එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයින්ට තහනමක් – අති විශේෂ ගැසට් නිවේදනයක්

පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයින්‍ට පොදු ප්‍රවාහනය සහ පොදු ස්ථානවලට ඇතුළුවීම වළක්වාලමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ලබන අප්‍රේල් මස 30වන දින සිට බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් එම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය.

ඒ අනුව පොදු ස්ථාන සහ පූර්ණ එන්නත්කරණ යන්නෙන් අදහස් කෙරෙන කරුණු පිළිබඳ පැහැදිලි කිරීමක් ඉදිරියේදී සිදුකිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

ගැසට් නිවේදනයට අනුව පොදු ස්ථාන යන්නෙන් ගෙවීමක් සිදුකර හෝ ගෙවීමක් සිදුනොකර, ආරාධනයක් මත හෝ ආරාධනයක් නොමැතිව ජනතාවට ප්‍රවේශය සහිත යම් ස්ථානයක් හෝ පොදු ප්‍රවාහනයේදී භාවිත කරනු ලබන ප්‍රවාහන ක්‍රමයක් අදහස් කෙරෙයි.

නිසි බලධරයා විසින් නිදහස් කළ පුද්ගලයෙකු හැරුණුවිට සෙසු සියලුම පුද්ගලයින් කොවිඩ් -19 වෛරසයට එරෙහිව පූර්ණ එන්නත්කරණයට ලක්වී ඇති බවට වන සාධක නොමැතිව අදාළ ස්ථානවලට ඇතුළු නොවිය යුතු බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.