යුද්ධයෙන් බැට කා සීතලෙන් මිය යන සිරියා දරුවෝ

ඉඩ්ලිබ්හි පවත්නා දැඩි ශීතල සහ හිම පතනය සහිත කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්ව මිය ගිය පළමු දරු දෙදෙනා ෆාතිමා සහ අමිනා සලමෙහ් නොවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙයට පෙර සතියේ ද බිලිඳු දරුවෝ තිදෙනෙක් දැඩි ශීතල දරා ගත නොහැකිව ජීවිතක්ෂයට පත් වූහ. සිරියාවේ වයඹ දිග ප්‍රදේශවලින් වාර්තා වන මේ අවාසනාවන්ත තත්ත්වය වෙත, ළමයින් සම්බන්ධයෙන් ක්‍රියාකරන ජාත්‍යන්තර ආයතනවල අවදානය යොමුව තිබේ. ‘සේව් ද චිල්ඩ්රන්’ සිරියා කාර්යාලයේ අධ්‍යක්ෂිකා සෝනියා කුෂ් නිවේදනයක් නිකුත්  කරමින් සඳහන් කරන්නේ සිරියාවේ ගැටුම් ආරම්භ වී වසර එකොළහකට ආසන්න කාලයක් ගත වී ඇති අතර, සිරියාවේ ජීවත් වන ළමයින් ගැන ලෝකයා අමතක කර දමා ඇති බවයි.

ඇමෙරිකා ප්‍රහාරයකට මැදිව අයි.එස්. නායක අබු ඊබ්‍රහිම් අල් කුරේෂි මිය ගිය සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ වත්මන් තත්ත්වය මේ සංවේදී කතාවෙන් විවරණය කෙරේ. එය, පසුගියදා නොනවත්වා එල්ල වුණු ඇමෙරිකා ප්‍රහාර ගැනවත්, එනිසාම පරිසරය පුරා අඛණ්ඩව ඇදුණු භයානක වෙඩි හඬ ගැනවත් නොව, ත්‍රස්තවාදය නිසා උන්හිටි තැන් නැතිව අතරමං වුණු අසරණ මිනිසුන්ට ස්වභාවික පරිසරය ද බරක් වී ඇති සැටි අනාවරණය කෙරෙන්නකි. ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් රට අභ්‍යන්තරයේ අවතැන්ව සිටින ජනයාට මෙවර ශීත ඍතුව ද බෙහෙවින්ම දරුණු ලෙස බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ශීත ඍතුව දැඩි වී හිමපතනය වන බව සඳහන් වේ. මේ අයහපත් කාලගුණික තත්ත්වය මධ්‍යයේ වාර්තා වන දුක්ඛදායකම සිද්ධිය ශීතල ඉවසා ගත නොහැකිව බිලිඳුන් අකාලයේ ජීවිතක්ෂයට පත්වීමයි. සිරියාවේ ඉඩ්ලිබ්හි අවතැන් කඳවුරු දෙකක සිටි බිලිඳු දරුවෝ දෙදෙනක් අධික ශීතල හේතුවෙන් පසුගියදා මිය ගියහ.

ජීවිතක්ෂයට පත් වූ එක් දරුවකු දින හතක් වයසැති බිලිඳියක බව වාර්තා වේ. ඇය නමින් ෆාතිමාය. ඇගේ මව්පියන් ජීවත් වන්නේ ලයිත් අවතැන් කඳවුරේ බව දැක්වේ. තම බිලිඳු දියණියගේ සිරුර අල්ලා බලන විට හිම මෙන් ශීතල වී තිබුණු බව ඇගේ පියා මාධ්‍යයට පවසා තිබිණ. ආසන්නයේ ඇති අල් රහ්මන් රෝහල වෙත දියණිය රැගෙන ගිය මුත් බේරා ගැනීමට නොහැකි වූ බව ද ඒ පියා හඬා වැටෙමින් කියා සිටියි.

ජීවන මට්ටම

අල් රහ්මන් රෝහලේ වෛද්‍ය ෆාදී හල්ලාක් මාධ්‍යයට අදහස් දක්වමින් පවසා තිබුණේ රෝහල කරා රැගෙන එන විට ෆාතිමාගේ සිරුර නිල් පැහැ ගැන්වී වී තිබුණු බවයි. නාසයෙන් සහ මුඛයෙන් බැහැරට රුධිරය වහනය වෙමින් තිබුණු බවත් වෛද්‍යවරයා සඳහන් කර තිබිණ. දින හතකට පළමුව ෆාතිමා දැරිය අල් රහ්මන් රෝහලේදී උපත ලැබූ බවත් උපදින අවස්ථාවේදී ඈ කිසිදු රෝගී තත්ත්වයක් පළ නොකළ බවත් වෛද්‍යවරයා සඳහන් කර තිබුණේය.

ගැටුම් හේතුවෙන් නිවෙස්වලින් ඉවත්වන්නැයි සිරියා ජනාධිපති බෂාර් අසාද්ගේ රෙජීමය කළ බල කිරීම් නිසා උන්හිටි තැන් අහිමි වීමෙන් මිලියන හතරකට ආසන්න පිරිසක් අවතැන්ව සිටිති. ෆාතිමා දැරිය මියගිය වයඹ දිග සිරියාවේ මිලියන 2.2 අධික ආසන්න අවතැන්වූවෝ පිරිසක් වෙසෙති. ඉන් මිලියන 1.7කට ආසන්න පිරිසක් ජීවත් වන්නේ පහසුකම් බෙහෙවින්ම හිඟ කූඩාරම්වල බව සඳහන් වේ. ඔවුන්ගේ ජීවන මට්ටම ඉතාමත් පහළය. එය කොතරම් පහළ මට්ටමකට ඇද වැටී ඇත්දැයි කිව හොත් ශීත ඍතුව ආරක්ෂිතව ගත කිරීමට අවශ්‍ය දේ තමන්ට සොයා ගත හැකි වූයේ මඳ වශයෙන් බව ෆාතිමා දැරියගේ පියා පවසයි. දැඩි ශීතලෙන් ආරක්ෂා වී සිටීමට තමන් සොයා ගත් එම ද්‍රව්‍ය ප්‍රමාණවත් නොවන බව ඔහුගේ අදහස වේ. ප්‍රදේශයේ පවත්නා තත්ත්වය අනුව රැකියාවක් සොයා ගැනීමත්, ආදායමක් උත්පාදනය කර ගැනීමත් ඉතාමත් අසීරු බව ඔහු ජාත්‍යන්තර මාධ්‍යයට වැඩිදුරටත් පවසා තිබුණේය.

ෆාතිමාගේ පවුලේ අය මේ දුඛිත ජීවිතය ගත කරන්නේ වසර හතකට වැඩි කාලයක සිටය. යුද්ධය හේතුවෙන් ඔවුන් අවතැන් වූයේ සිරියාවේ දකුණු දිග පළාතක් වන අලෙප්පෝහිදීය. එවක් පටන් වයඹ දිග පිහිටි මේ අවතැන් කඳවුරට ළඟා වනතුරු ඔවුහු විවිධ ස්ථානවල ජීවත් වූහ. ඒ, අවතැන් වූ පිරිස වශයෙන් කූඩාරම්වලය.

හිම පතනය

ඉඩ්ලිබ් පළාතේ අවතැන් කඳවුරක මිය ගිය අනෙක් බිලිඳිය මාස දෙකක් පමණ වයසැතිය. ඇය නමින් අමිනා සලමෙහ් බව සඳහන් වේ. ඇය සහ ඇගේ පවුලේ සාමාජිකයන් ජීවත්ව සිට ඇත්තේ අල් ජබාල් අවතැන් කඳවුරේය. අධික ශීතල හේතුවෙන් පීඩාවට පත් ඇය රැගෙන විත් තිබෙන්නේ ද අල් රහ්මන් රෝහල වෙතය. රෝහලට රැගෙන එන විට ඇය නිල් පැහැ ගැන්වී සිටි බව වෛද්‍යවරු පවසති. ඇගේ හෘද ස්පන්දනය අනුක්‍රමයෙන් පහළ වැටෙන්නට පටන් ගත් බව ද වෛද්‍යවරු කියා සිටිති. දැරිය උණුසුම් කරමින් ඇයට අවශ්‍ය ප්‍රතිකාර දුන්න ද ඇයගේ ජීවිතය රැක ගැනීම අසීරු වූ බව මහත් කනගාටුවෙන් යුතුව වෛද්‍යවරුන් මාධ්‍යයට පවසා තිබිණ.

ඉඩ්ලිබ්හි පවත්නා දැඩි ශීතල සහ හිම පතනය සහිත කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්ව මිය ගිය පළමු දරු දෙදෙනා ෆාතිමා සහ අමිනා සලමෙහ් නොවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙයට පෙර සතියේ ද බිලිඳු දරුවෝ තිදෙනෙක් දැඩි ශීතල දරා ගත නොහැකිව ජීවිතක්ෂයට පත් වූහ. සිරියාවේ වයඹ දිග ප්‍රදේශවලින් වාර්තා වන මේ අවාසනාවන්ත තත්ත්වය වෙත, ළමයින් සම්බන්ධයෙන් ක්‍රියාකරන ජාත්‍යන්තර ආයතනවල අවදානය යොමුව තිබේ. ‘සේව් ද චිල්ඩ්රන්’ සිරියා කාර්යාලයේ අධ්‍යක්ෂිකා සෝනියා කුෂ් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සිරියාවේ ගැටුම් ආරම්භ වී වසර එකොළහකට ආසන්න කාලයක් ගත වී ඇති අතර, සිරියාවේ ජීවත් වන ළමයින් ගැන ලෝකයා අමතක කර දමා ඇති බවයි.

“… වළක්වා ගත හැකිවූත්, ඛේදනීයවූත් මේ මරණ, දරුවන්ට මානුෂීය ආධාර කොතරම් ඉක්මනින් අවශ්‍ය ද යන්න වටහා ගැනීමට හොඳ උදාහරණ. ඔවුන්ටත් සාමකාමී, තිරසාර විසඳුමක් අවශ්‍යයයි. …” යනුවෙන් ද ඈ පවසන්නී ය.

අවතැන් වූ ජනයා

ප්‍රදේශයේ පවත්නා අහිතකර කාලගුණ තත්ත්වය හේතුවෙන් රෝගී වන දරුවන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වෛද්‍ය ෆාදී හල්ලාක් පවසයි. නේවාසිකව ප්‍රතිකාර ගන්නා දරුවන් සංඛ්‍යාව වැඩිවීමත් සමඟම අල් රහ්මන් රෝහලේ ළමා වාට්ටුවල සහ අවට සෙසු රෝහල්වල ළමා වාට්ටුවල ධාරිතාවන් ඉක්මවා යමින් තිබේ.

“… ශ්වසන ආබාධ නිසාත්, පෙණහලු හානියට පත්වීම නිසාත් රෝගී තත්ත්වයට පත් දරුවන් විශාල සංඛ්‍යාවක් මෙහි රෝහල් ගත කර සිටිනවා. රෝහලේ වාට්ටුවල ධාරිතාව ඉක්මවා ගොස් තිබෙනවා. දරුවන්ට දිය යුතු එන්නත් රෝහල සතුව දැනට නැහැ. ඒ නිසා මූල්‍ය ආධාර අපට දෙමින් සහය දෙන්න කියලා ජාත්‍යන්තර සංවිධානවලින් අපි ඉල්ලීම් කරනවා. …” යැයි වෛද්‍ය ෆාදී හල්ලාක් පවසා තිබිණ. 

සිරියාවේ පවත්නා ගැටුම් ආරම්භ වූයේ 2011 වසරේදීය. ගැටුම් හේතුවෙන් ලක්ෂ පහකට අධික පිරිසක් මරු දුටහ. මිලියන දහයකට ආසන්න පිරිසක් අවතැන් වූහ. අවතැන් වූ ජනයා වයඹ දිග සිරියාවට පමණක් නොව සිරියාවට අසල්වැසි රාජ්‍ය වන ලෙබනනය, ජෝර්දානය සහ තුර්කිය වෙත ද සංක්‍රමණය වී සිටිති. අවතැන් වූ ජනයා රට අභ්‍යන්තරයේ වැඩි වශයෙන් ජීවත් වන්නේ වයඹ දිග ප්‍රදේශවලය. එකී ප්‍රදේශවල මේ වන විට ආර්ථික අර්බුදයක් ද පවතී. මේ නිසා අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ, ඉන්ධන සහ මූලික වශයෙන් අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය හිඟයක් එහි හටගෙන තිබේ. එම ද්‍රව්‍යවල මිල ද විශාල වශයෙන් ඉහළ නැඟෙමින් තිබෙන බව ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයෝ පෙන්වා දෙති. ඒ අතර ආධාර දෙන කණ්ඩායම්වල ආධාර දීමේ ක්‍රියාවලිය ද දුර්වල වී ඇත. ඉඩ්ලිබ්හි වත්මන් තත්ත්වය පිළිබඳව තතු දක්වන එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ එහි ජීවත් වන ජනයාගෙන් 97%ක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බවයි. එහි ආහාර ආධාර මත යැපෙන පිරිස 80%කට වඩා වැඩි බව ද සඳහන් වේ.

97%ක පමණ පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන පසුබිමක ශීත ඍතුව ගත කිරීමට අවශ්‍ය ආම්පන්න ඒකරාශි කර ගැනීමට ඒ කිසිවකුට හැකියාවක් නොමැත. එබැවින් තමන් සතු සීමිත වූ ඇඳුම් පැලඳුම් සහ අවශේෂ ද්‍රව්‍ය අතැතිව දරුණු ශීත ඍතුවට ඔවුහු මුහුණ දෙමින් සිටිති. එය කොතරම් සංවේගජනකදැයි කිව හොත් අවතැන් ජනයා කූඩාරම් වටා ඇති හිම තට්ටු තම දෑත්වලින් ඉවත් කිරීමේ අසීරු ව්‍යායාමයක නිරතව සිටින බව මාධ්‍යවේදීහු වාර්තා කරති. අඩු තරමින් දවා සිරුරු උණුසුම් කර ගත හැකි දෙයක්වත් නොමැති පිරිස ඉතා විශාල බව ද දැක් වේ. මේ නිසා අතට හසුවන කුමක් හෝ දවා ගිනි මැලයක් ගසාගෙන සිරුරු උණුසුම් කරගන්නා අයත්, තමන්ගේම ඇඳුම් ද, තමන් සතු ප්ලාස්ටික් භාජන ද ගිනි තබා ඉන් නික්මෙන තාපයෙන් සිරුරු උණුසුම් කරගන්නා අයත් එහි සුලභය.

හිම පතනය ඉතා දරුණු අතට හැරීමෙන් ඉඩ්ලිබ්හි අවතැන් කඳවුරු විශාල සංඛ්‍යාවක් විනාශයට පත්ව ඇත. බී.බී.සී. ප්‍රවෘත්ති සේවයේ වාර්තාවන්හි දැක්වෙන අන්දමට වයඹ දිග සිරියාවේ සහ අලෙප්පෝහි සරණාගත කඳවුරු 287ක කූඩාරම්වලට පසුගිය මාසයේ මැද භාගයේ සිට විටින් විට හිම පතනය වී ඇත. මේ හේතුවෙන් කූඩාරම් 935කට වැඩි සංඛ්‍යාවක් විනාශ වී තිබේ. ඒවායෙහි ජීවත් වූ 9500කට අධික පිරිසක් වෙනත් ස්ථාන වෙත යැවීමට සිදුව ඇත. මහා මාර්ග මතට ඝන හිම තට්ටුවක් පතනය වී ඇති බැවින් අසනීපයට පත් දරුවන් රෝහල් කරා රැගෙන යෑම ද බෙහෙවින් දුෂ්කර වී තිබේ. මේ නිසා තවත් බිලිඳුන් සහ දරුවන් අයහපත් කාලගුණයේ ගොදුරු බවට පත් වන්නට ඉඩ ඇත. එසේම වයස්ගතභාවයට පත් අවතැන්වූවන්ගේ සහ සෞඛ්‍ය ගැටලුවලින් පීඩා විඳින අවතැන්වූවන්ගේ ජීවිත පවා මේ රුදුරු කාලගුණයට බිලි වන්නට පුළුවන.

මංජුලා විජයරත්න  (Dinamina)