U19 World Cup – ශ‍්‍රී ලංකාව හයවැනි ස්ථානයට

පකිස්තාන කණ්ඩායමේ නායක කසීම් අක‍්‍රම්ගේ විශිෂ්ට තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර 2022 යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පස්වන ස්ථානය වෙනුවෙන් පැවති තරගයේදී ලකුණු 238 ක දැවැන්ත ජයග‍්‍රහණයක් ලබාගැනීමට පාකිස්තාන කණ්ඩායම පෙරේදා (03 වැනිදා) සමත් විය.

පකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ශතකයක් සහ පන්දු යැවීමේදී කඩුලූ පහක් දවාගෙන යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියකදී එවැනි දස්කමක් කළ පළමු ක‍්‍රීඩකයා බවට පත්වීමට සමත් වූ පකිස්තාන කණ්ඩායමේ නායකයා තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබීය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ දී ශ‍්‍රී ලංකාවට එරෙහිව කඩුලූ 3ක් දැවී ලකුණු 365ක් ලබා ගත් අතර ශ‍්‍රී ලංකාවේ සියලූ පිතිකරුවෝ පන්දු වාර 34.2කදී ලකුණු 127කට දැවී ගියහ.

එහි දී පාකිස්තානු ආරම්භක පිතිකරුවන් වුණු මුහමඞ් ශෙෂාඞ් සහ හසීබුල්ලාහ් ඛාන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 134ක සබඳතාවයක් ගොඩනැංවූ අතර එම සබඳතාවය බිඳ වැටීමෙන් පසුව ඛාන් සමඟ එක්වුණු නායක කසීම් අක‍්‍රම් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 153ක දී ලකුණු 229ක සබඳතාවයක් ගොඩනංවමින් ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප‍්‍රහාරයක් එල්ල කළහ.

පාකිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් හසිබුල්ලාහ් ඛාන් පන්දු 151ක දී ලකුණු 136ක් ලබා ගත් අතර එම ඉනිමට 4 පහර 9ක් සහ 6 පහර 2ක් ඇතුළත් විය.

හසිබුල්ලාහ් ඛාන් මෙවර 19න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ලබා ගත් දෙවැනි ශතකය එය වූ අතර නායක කසීම් අක‍්‍රම් පන්දු 80කදී වේගවත් ලකුණු 135ක් ලබා ගත්තේ 4 පහර 13ක් සහ 6 පහර 6ක් එම ඉනිමට ඇතුළත් කරමිනි.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම සුනුවිසුනු කළ පකිස්ථාන නායක කසීම් අක‍්‍රම් ලකුණු 35 ක ට කඩුලූ 5ක් දවා ගත්තේය.

මේ තරගාවලිය පුරාවට ශ‍්‍රී ලංකා මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වයක් පෙනෙන්නට වුණු අතර මේ තරගයේ දී ද එම දුර්වලතාවය කැපී පෙනුණි. දකුණු අප‍්‍රිකාව සමග පැවති 5 වැනි ස්ථානය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වුණු තරගයේ දී ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් දෙකක් සිදු කරමින් සකුණ ලියනගේ සහ වනුජ සහන් වෙනුවට පවන් පතිරාජ සහ වේගපන්දු යවන ක‍්‍රීඩක මතීෂ පතිරණ මේ තරගයට කැඳවා තිබුණි.

පළමු පන්දුවාර 11 අවසානයේ ලකුණු 41ක් තුළ ශ‍්‍රී ලංකා පිතිකරුවන් අඩක් දැවී ගොස් තිබුණු අතර නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 40ක් සහ විනුජ රන්පුල් නොදැවී ලකුණු 53ක් ලබා ගත්හ.

ඒ අනුව ශ‍්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම 2022 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ 6 වන ස්ථානය දිනාගෙන මෙවර තරගාවලියේ නිමාව සටහන් කිරීමට සමත් විය.

ලකුණු සාරාංශය

පාකිස්තානය පන්දුවාර 50කදී කඩුලූ 3ට 365යි – (හසිබුල්ලා ඛාන් 136, කසිම් අක්රම් නොදැවී 135, මුහම්මඞ් ෂෙෂාඞ් 73, මතීෂ පතිරණ 62/2, රවීන් ද සිල්වා 33/1)

ශ‍්‍රී ලංකාව පන්දුවාර 34.2කදී සියල්ල දැවී 127යි – (විනුජ රන්පුල් 53, දුනිත් වෙල්ලාලගේ 40, සදීෂ රාජපක්ෂ 16, කසිම් අක්රම් 37/5