ක්‍රිකට් ක්‍රීඩකයෝ රංචු පිටින් එතෙර යති – බොරු ෆිට්නස්ට් ටෙස්ට් වලට බැහැ කියයි

  • ගිය වසරේ ක්‍රිකට් කොන්ත්‍රාත්තුවේ සිටි ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් තවම මුදල් ගෙවා නැහැ
  • සිම්බාබ්වේ සංචාරයට නවක කණ්ඩායමක්
  • අසේල විතාන
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩකයන්ව නිසි කළමණාකරනයකට ලක් නොකිරීමේ ප්‍රතිඵලයක් හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ ජාතික කණ්ඩායම මෙන්ම පළමු පෙළ නියෝජනය කරන ක්‍රීඩකයන් විස්සකට අධික සංඛ්‍යාවක් විදෙස් ක්‍රිකට් ලීගයන් සඳහා ක්‍රීඩා කිරීමට එකගතාව පළ කර තිබේ.
    භනුක රාජපක්ෂ සහ ධනුෂ්ක ගුණතිලක පළමුව සමුගැනීම ප්‍රසිද්ධියට පත් කළ අතර එහිදී භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියටම සමුදීම විශේෂත්වයකි. ධනුෂ්ක ගුණතිලකද මෙතරම් ඉක්මනින් ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව සඳහන් කළේද විදෙස් ලීගයන් ක්‍රීඩා කිරීමට ඇති හැකියාව නිසා බව වාර්තා වේ.
    කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව වසරේ ක්‍රිකට් කොන්ත්‍රාත්තුව සකස් කරමින් සිටින අතර එම කොන්ත්‍රාත්තුවෙන් ක්‍රීඩයන්ට ලැබෙන දීමනා සලකා බැලීමෙන් පසුව තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් හැර යෑමට අපේක්ෂාවෙන් සිටියි.
    ශ්‍රී ලංකා ක්‍රිකට් නිළධාරීන් සහ තේරීම් කමිටුව ක්‍රීඩකයන් කිහිප දෙනකුටම දුරකතනයෙන් කතා කරමින් ඔවුන්ට ඉදිරියේදී කණ්ඩායමේ ස්ථානය මෙන්ම හොඳ කොන්ත්‍රාත්තුවක් ලබා දෙන බව පවසා තිබේ. නමුත් ක්‍රීඩකයන් ඒ සම්බන්ධයෙන් තවමත් දෙගිඩියාවෙන් පසුවන අතර ඉදිරි මාස කිහිපය තුළ වේග පන්දු යවන්නන් දෙදෙනකු සහ තුන් ඉරියව් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුමද සිය සමුගැනීම ප්‍රකාශ කිරීමේ සූදානමක් පවති. එක් වේග පන්දු යවන්නකු පසුගිය කාලයේ ඉතාමත් හොඳින් දක්ෂතා දක්වමින් කරළියට පැමිණි අතර ඔහු ඇමරිකාවේ ක්‍රීඩා කිරීමේ සැලසුමක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් හැර යෑමට සූදානමින් පසුවන බව වැඩි දුරටත් වාර්තා වේ.
    මේ අතර සිම්බාබ්වේ සංචාරය ඉලක්ක කරමින් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට සහභාගි වීමට ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම තේරීම් කමිටුව කතා කර තිබුණද ඔවුන් එම යෝග්‍යතාවට සහභාගි වීම ප්‍රතික්ෂේප කර තිබේ. කි. මී 2 ක දුර ප්‍රමාණයක් විනාඩි විනාඩි 8 යි තත්ත්පර 35 ක කාලයකින් දිවීමට පෙර නියම කර තිබුණද නව නීතිය අනුව අදාළ දුර ප්‍රමාණය විනාඩි 8 දක්වා අඩු කිරීමෙන් ක්‍රීඩකයන් අසතුටට පත්ව තිබේ.
    “ෆිට්නස්ට් තියාගෙන ක්‍රිකට් ගහන්න ඕන කියන තැන අපි ඉන්නවා. අපිට යෝග්‍යතාව නැතිනම් මැදට ගිහිල්ලා හොඳට කරන්න බැහැනේ. නමුත් ඔය කියන ටෙස්ට් පාස්ට් වෙන්න සුසන්තිකා ජයසිංහලාව ගේන්න වෙයි. නැතිනම් අපි ක්‍රිකට් නවත්තලා ඒක පාස් වෙන්න මාස දෙකක් ටේ්‍රන් වෙන්න වෙයි.” යැයි මේ සම්බන්ධව srilankantimes විමසන ලදුව ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයකු පවසා සිටියේය.
    ශ්‍රී ලංකාවේ අරවින්ද ද සිල්වා, අර්ජුන රණතුංග, දුලිප් මෙන්ඩිස්ලාට එදා මෙවැනි ටෙස්ට් තිබුණේනම් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට නොහැකි වනු ඇත. එමෙන්ම මහේල ජයවර්ධන මුත්තයියා මුරලිදරන් සහ රංගන හේරත්ද ශ්‍රී ලංකාවෙ මෙන්ම ලෝකයම අගය කරන ක්‍රීඩකයන්ය. ඔවුන්ද මෙම ටෙස්ට් මග හරිමින් ක්‍රීඩා කළ බව ඕනෑ තරම් සාක්ෂි තිබේ. ඒ ඔවුන්ට තිබු ආබාධ හේතුවෙනි. නමුත් පිටිය මැද ෆිට්නස්ට් ෆාස්ට් වෙන මල්ලිලාට වැඩිය හොඳට ඒ අයියලා එදා කළ බව වත්මන් ක්‍රිකට් නිලධාරීන්ද සිහියට ගත යුතු කාලයක් දැන් එළැඹ තිබේ. එදා ෆිට්නස්ට් නොමැතිව හොඳටම කරපු අයියලාද අද ක්‍රිකට් හසුරුවන්නට පැමිණ ඇති කාලයක මෙවැනි දේවල් වීමෙන් රටේ ක්‍රීඩාව තවදුරටත් අගතියට යෑම ක්‍රීඩා ඇමැතිවරයාට නොතේරීමද කණගාටුවට කරුණකි.