ගෑස් මෙන් පොහොර කෑනුත් පුපුරයි

රජයේ කාබනික පොහොර ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් පදවිය ප‍්‍රදේශයේ ගොවි ජනතාවට නොමිලේ නිකුත් කළ කාබනික දියර පොහොර කෑන් තොගයක් පුපුරා පිටතට කාන්දුවීම නිසා එම ගොවියෝ දැඩි අපහසුතාවලට මුහුණ පා සිටිති.

පසුගිය 07 දා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ පදවිය ප‍්‍රාදේශීය කාර්යාලයේ ගොවිජන සේවා නිලධාරිනි දර්ශිකා සෙනෙවිරත්න මහත්මිය විසින් ලොරි රථයකින් ප‍්‍රවාහනය කොට ප‍්‍රදේශයේ ගොවීන්ට බෙදාදීම සඳහා තම නිවසටම ගෙනැවිත් දුන් දියර කාබනික පොහොර කෑන් තොගයක් මෙලෙස පුපුරා අපතේ යෑම සිදුවූ බව පදවිය රුවන්පුර සීවලී ගොවි සංවිධානයේ සභාපති සුජිත් විජේරත්න මහතා පැවසීය.

එලෙස ගොවිජන සේවා නිලධාරිනිය විසින් ප‍්‍රදේශයේ ගොවීන්ට නිකුත් කිරීම සඳහා තමන් වෙත ලබා දුන් කාබනික දියර පොහොර කෑන් බැලූන් බෝල මෙන් ඉදිමී පුපුරායෑම හේතුවෙන් ගොවීන් ඒවා භාර ගැනීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා නැවත රැුගෙන යන ලෙසට ගොවිජන සේවා නිලධාරිනියට දැනුම් දුන් බවද සුජිත් විජේරත්න මහතා කීවේය. තම ගොවි සංවිධානයට ලීටර් දහය ප‍්‍රමාණයේ කාබනික පොහොර කෑන් සියයක් සහ ලීටර් හතර ප‍්‍රමාණයේ කෑන් දෙසිය හැත්තෑ පහක් ලැබුණු බවත් ඒ මහතා පැවසීය.

මේ පිළිබඳව පදවිය ගොවිජන සේවා නිලධාරිනී දර්ශිකා සෙනෙවිරත්න මහත්මියගෙන් කළ විමසීමකදී කියා සිටියේ දේශීය සමාගමක් මගින් නිපදවූ එම කාබනික දියර පොහොර තොගය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් මත එදිනම පදවිය ප‍්‍රදේශයේ ගොවි සංවිධාන කීපයකට බෙදාහැරිය බවයි.

ගොවි සංවිධානවලට බෙදාහැරීමෙන් අනතුරුව එම පොහොර කෑන් පුපුරා පිටතට කාන්දුවීමක් සිදුවන බවට ගොවි සංවිධාන නියෝජිතයන් විසින් තමාට පැමිණිලි කිරීම නිසා ඒවා නැවත සිය භාරයට ගෙන වෙනත් දියර කාබනික පොහොර ලබාදීමට කටයුතු කරන බවට ගොවීන්ට දැනුම් දුන් බව ද ඇය පැවසුවාය.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු