මුදල් අමාත්‍යාංශය අර්ජුන් ඇලෝෂියස්ට දුන් බලපත්‍රය අහෝසි කරයි

පර්පචුවල් ටෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස් මහතාට මත්පැන් නිෂ්පාදන කටයුතු යළිත් ආරම්භ කිරීමට මුදල් අමාත්‍යාංශය දී තිබූ බලපත්‍රය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. ඒ අනුව එය අවලංගු කරන ලෙස මුදල් අමාත්‍යාංශයට උපදෙස් දීමට පියවර ගෙන ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (06දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

ඔහු රජයට ගෙවීමට තිබූ හිඟ බදු ගෙවීමට එකඟවීමෙන් පසු නිෂ්පාදන යළි ඇරඹීමට මුදල් අමාත්‍යාංශය අවසරය දී තිබූ බවද ඇමතිවරයා පැවසීය.

එසේ වුවත්ඔවුන් සම්බන්ධ වී බරපතල මූල්‍ය වංචාවක් සිදුකර තිබියදී යළිත් නිෂ්පාදන ආරම්භ කිරීමට ඉඩදීම සාධාරණීකරණය කළ නොහැකි බැවින් ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලය සාකච්ඡා කර එය අහෝසි කිරීමට තීරණය කළ බව ද ඇමති රමේෂ් පතිරණ මහතා කීවේය.

ඔවුන්ට යළි නිෂ්පාදන ආරම්භ කිරීමට අවසරදීම කැබිනට් මණ්ඩලය ගත්තීරණයක් නොව හිඟ බදු ගෙවීමට එකඟවීමෙන් පසු මුදල් අමාත්‍යාංශය ගත් තීරණයක් බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.