අලුත්කඩේට අලුතෙන් උසාවි 50ක්

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අලුතෙන් තවත් උසාවි 50ක් ස්ථාපනය කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද (06දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය. එමෙන්ම  විනිශ්චකාරවරුන් 76  දෙනකු පත් කර ගැනීමටද  කටයුතු යොදා ඇතැයි අධිකරණ ඇමතිවරයා ප්‍රකාශ කළේය.
අධිකරණ ඇමතිවරයා මෙසේ පැවසුවේ එම් අමාත්‍යාංශයට අදාළ  පනත් කෙටුම්පත් කිහිපයක් පිළිබඳ විවාදය ආරම්භ කරමිනි.
මෙරට ජනගහනයෙන්  ලක්ෂ දහයකට සිටින්නේ විනිසුරුවරුන් පහළොස් දෙනෙකු පමණකැයි පැවසූ  සබ්‍රි මහතා එම  සංඛ්‍යාව දෙගුණයක් දක්වා වැඩි කරගැනීම බලාපොරොත්තුව යැයිද   පැවැසුවේය.

ඕනෑම විනිසුරුවරයෙකුට  දරා  ගත හැකි ප්‍රමාණයක් තිබෙන බවත් ඉන් එහාට ගියවිට ඔහු කඩා වැටෙන බවත්  අධිකරණ ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය  කිරීමටද කටයුතු කරගෙන යන බවත් මේ වසර අවසානය වනවිට  දිවයිනේ අධිකරණ 42ක ඒ කටයුතු පළමු අදියර යටතේ අරඹන බවත්  ඔහු පැවසීය.

කොරෝනා  සමයේදී තාක්ෂණය යොදාගෙන  නඩු ඇසීමට අවශ්‍ය කටයුතු සූදානම් කර දුන් බවද   අලි සබ්රි මහතා  ප්‍රකාශ කළේය .