බැසිල්ට පාර්ලිමේන්තු එන්න ජයන්ත කැටගොඩ ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව සැලසීම සඳහා එම පෙරමුණෙ ජාතික ලැයිස්තුවෙන් පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා එම මන්ත්‍රී ධූරයෙන් අද (06දා) ඉල්ලා අස්විය.

ඔහුගේ එම ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී භාරදී තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ අනිද්දා (08දා) දිවුරුම් දීමට නියමිතය.

බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමෙන් පසුව ඔහුට ඇමති ධූරයක්ද පිරිනැමෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ ජයන්ත කැටගොඩ මහතාට රජයේ ආයතනයක ඉහළ තනතුරක් ලබාදීමට නියමිතය.