හම්බන්තොට ලේවායේ ගිණි ඇවිළෙයි – ලුනු සභාපති දියකරන්නැයි ඉල්ලා නගර සභාවත් ජනතාව සමඟ මහපාරට

හම්බන්තොට ලුනු සංස්ථාවේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කරන්නැයි ඉල්ලමින් හම්බන්තොට නගරාධිපතිවරයා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් සහ හම්බන්තොට වෙළඳ ප්‍රජාව ඇතුළු ජනතාව හම්බන්තොට ලුනු ලේවාය ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහයට අද වන විට දින 9ක් ගතවුණද මෙතෙක් ඊට විසඳුමක් ලැබී නොමැති බව වාර්තා වේ.
මීට වසර 2කට පෙර වත්මන් රජය විසින් ලුනු සංස්ථවේ සභාපතිවරයා ලෙස පත්කළ නිෂාන්ත සඳභරණ නැමැති පුද්ගලයාගේ පාලන සමය තුළ සිදුකරමින් පවතින දූෂණ හා අක්‍රමිකතාවන්ට එරෙහිව “හම්බන්තොට අපි“ සංවිධානය, හම්බන්තොට වෙළඳ සංගමය, ලුනු ව්‍යාපාරිකයන් සහ ලුනු කර්මාන්ත කරුවන් ඇතුළු සේවකයින් පසුගිය දෙසැම්බර් 27දා මෙම සත්‍යග්‍රහය ආරම්භ කළහ. හම්බන්තොට ජනතාවගේ ජීවනාලිය බඳු ලුනු ව්‍යාපාරයට සිදුවෙමින් යන හානියට එරෙහිව නැඟී සිටින මෙම උද්ඝෝෂකයින්ගේ ඉල්ලීම් තේරුම් ගත් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා ඇතුළු මුළු නගර සභාවම මෙම සටනට මූලිකත්වය දී කටයුතු කරයි.
ඒ අනුව සුළු පරිමානයෙන් ආරම්භ වූ මෙම සත්‍යග්‍රහය අද වන විට මහ මග පෙළපාලි යාම දක්වා වර්ධනය වී හම්බන්තොට දිස්ත්‍රික්කයම උණුසුම් කරනා තත්වයකට පත්ව ඇති අතර පසුගියදා සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට පැමිණි අමාත්‍ය චමල් රාජපක්ෂ සමඟ කරන ලද සාකච්ඡා වලින් පසුවද මෙතෙක් විසඳුමක් ලැබී නොමැති බවද පැවැසේ.

ගෙවී ගිය වසර එක හමාරක පමණ කාලයක සිට හම්බන්තොට ව්‍යාපාරිකයින්ට ලුනු ලබා දීම නතර කොට සභාපතිවරයා විසින් පත්කරන ලද නියෝජිතයින් හරහා පමණක් ලුනු අලෙවි කිරීමට සළස්වා කොමිස් මුදල් ලබා ගැනීමත් පසුගිය රජය සමයේ පරිභෝජනයට නුසුදුසු යැයි ඉවත් කළ ලුනු තොග ටෙන්ඩර් හරහා විකිණීමත් වත්මන් සභාපතිවරයාට එරෙහිව ඇති චෝදනා අතර කිහිපයකි.
කෙසේ වෙතත් මේ වන විට මෙම සටනට මූලිකත්වය දෙමින් කටයුතු කරනා හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතාගෙන් මේ පිළිබඳව විමසූ විට කියා සිටියේ ලුනු සංස්ථාවේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කරන තෙක් මෙම සටන අත්නොහරින බවයි. හම්බන්තොට වෙළඳ සංගමය සහ ලුනු ව්‍යාපාරිකයින් ඇතුළු ජනතාව මේ සඳහා මැදිහත් වෙන්නැයි කළ ඉල්ලීමට අනුව තමන් මෙම සටනට සම්බන්ධ වූ බවත් හම්බන්තොට මහ නගර සභාවේ සියලුම දෙනා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මීට  සහයෝගය ලබා දෙන බවත් පැවැසූ නගරාධිපතිවරයා,
“ 1996දී මේ ලුනු සංස්ථාව පුද්ගලිකකරණය කරන්න යනකොට එකළ කම්කරු අමාත්‍යවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා සේවා නියුක්තිකයින්ගේ අරමුදලෙන් (ඊටීඑෆ්) එකෙන් රුපියල් මිලියන 470 ක් ආයොජනය කරල සංස්ථාවෙ කොටස් 90% ක් අරගෙන ඉතිරි 10% කොටස් සේවකයින් 412 කට දීල මේක බේරගත්තෙ. 2018 දී ලාභයෙන් මිලියන 68ක් ලාභාංශ වශයෙන් කොටස් කරුවන්ට ගෙව්වා. නමුත් 2019 හා 2020 වසර වල ලාභාංශ තවමත් කොටස් කරුවන්ට ගෙවල නැහැ. මෙයාගෙ මස්සිනාල දෙන්නෙක් ඇතුළට දාගෙන එයාල හරහා ලුනු වෙළඳ පොළට දාන්නෙ. ලේවායෙ තිබෙන හොඳ ලුනුත් නරක ලුනු කිරීමේ වැඩකුත් ඇතුළෙ ක්‍රියාත්මක වෙනවා. හම්බන්තොට ලුනු ව්‍යාපාරිකයොත් ලුනු කර්මාන්ත කරුවනුත් අද අසරණයි.“ යනුවෙන් වැඩිදුරටත් පැවැසීය.
තවද මෙම සටනේ තවත් ප්‍රධාන පාර්ශවයක් වන “හම්බන්තොට අපි“ සංවිධානයේ සභාපති දිනුෂ්ක වීරසිංහ මහතා අප වෙත අදහස් පළකරමින් කියා සිටියේ පාරම්පරිකව පැවැත එන හම්බන්තොට නගර සම්පත ලෙස ලුනු කර්මානත්ය රැකගැනීම තම සංවිධානයේ අරමුණ බවයි. තවදුරටත් අදහස් දැක්වූ දිනුෂ්ක “ අවුරුදු 1 1/2 ක සිට හම්බන්තොට ලුනු ව්‍යාපාරිකයින්ට සංසංථාවෙන් සෘජුවම ලුනු ලබා දීම නතර කරලා සභාපතිවරයා පත්කරපු නියෝජිතයෝ දෙන්නෙක් හරහා පමණයි ඔවුන් ලුනු මිලදී ගන්න ඕන. ඒ කියන්නෙ ලේවායෙන් ගන්නවාට වඩා වැඩි මුදලක් බාහිර පුද්ගලයින්ට ගෙවන්න වෙලා. අනෙක යහපාලනය කාලෙ පුත්තලමෙන් ගෙනා ලුනු මෙට්‍රික් ටොන් 10,000ක් රසායනාගාර පරීක්ෂණ වලින් පසුව පරිභෝජනයට නුසුදුසුයි කියල පාරිභෝගික සේවා අධිකාරිය මඟින් පවා ප්‍රතික්ෂේප කළා. එම ලුනු තොගය කර්මාන්ත ලුනු ලෙස සඳහන් කරමින් සභාපතිවරයා ටොන් එකක් රුපියල් 5000 ක් බැගින් ටෙන්ඩර් දාල විකිණුවා. මේ ගැන 2019 විගණකාධිපති වාර්තාවෙත් තිබෙනවා. මේ නුසුදුසු ලුනු විකිණීම සම්බන්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දාපු නඩුවකුත් තවම අධිකරණයේ තිබෙනවා.“ යනුවෙන්ද පැවැසීය.