පාස්කු ඉරිදා ප්‍රහාරයට පංච පුද්ගල කොමිසමක්

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නව පංච පුද්ගල කොමිසමක් පත් කර තිබෙනවා.

අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිසමට අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න,විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ,විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු සහ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම්වරියක වන ඩබ්ලිවි.එම්.එම්.අධිකාරී ද ඇතුළත්.

පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළ සිද්ධීන්,පුද්ගලයන්,සංවිධාන හදුනාගැනීම මෙන්ම ඊට අදාලව රාජ්‍ය නිලධාරීන් වැරදි ලෙස බලය යොදාගැනීම,අතපසුවීම් සහ වගකීම් පැහැරහැරීම් ආදිය පිළිබදවද විමර්ශනය කිරීම මෙම කොමිසමට පැවරෙනවා.

එමෙන්ම කොමිසම මගින් පළමු අතුරු වාර්තාව මාස 3ක් ඇතුළත ඉදිරිපත් කල යුතු අතර,මාස 6ක් තුළ අවසන් වාර්තාව ලබාදිය යුතු බවයි ඊට අදාළව නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

මීට අදාළව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනිමද කොමිසමේ වගකීමක් වන අතර,මෙවැනි සිද්ධීන් ඉදිරියේදී ඇතිවීම වැළැක්වීම සදහා නිර්දේශ ඉදිරිපත් කරන ලෙසද දන්වා තිබෙනවා.