ගෑස් පුපුරන හේතුව සොයා ගනියි

 

ගෑස් සිලින්ඩරවල අඩංගු විය යුතු ප්‍රොපේන් හා බියුටේන් සංයුතිය පරික්‍ෂා කිරීමේදී මේ වනවිට වෙළෙඳපොළේ තිබෙන ගෑස් සිලින්ඩරවල ප්‍රොපේන් අනුපාතය සියයට 49ක් සහ බියුටේන් අනුපාතය සියයට 51 දක්වා වෙනස් කර තිබීම නිසා ගෑස් සිලින්ඩර හා ගෑස් ලිප් ගිනි ගන්නා බවට සපුගස්කන්ද පිරිපහදු රසායනාගාරයේ පරික්‍ෂණවලදී තහවුරු වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ගවලින් දැනගන්නට ලැබේ.

මෙතෙක් කලක් ගෑස් සිලින්ඩරවල තිබූ සංයුතිය වූයේ බියුටේන් 70% සහ ප්‍රොපේන් 30% අනුපාතය හෝ බියුටේන් 65% ප්‍රොපේන් 35% අනුපාතයයි.

මෙරටට ගෙනා ගෑස් මිශ‍්‍ර කිරීමේදී එකී අනුපාත දෙක වෙනස් කිරීම නිසා ගෑස් සිලින්ඩරවල රෙගියුලේටරයට බලපෑම් ඇතිවී මෙලෙස ගිනි ගැනීම් සිදුවිය හැකි බවද රසායනාගාර විශේෂඥයෝ කියා සිටිති.

ගෑස්වල තිබිය යුතු බියුටේන් සහ ප්‍රොපේන් සංයුති අනුපාතය වෙනස්වීම නිසා ඉකුත් දිනවල රටපුරා ගෑස් සිලින්ඩර සැලකිය යුතු ප‍්‍රමාණයක් පුපුරා අනතුරු සිදුවීමෙන් පසු මේ සම්බන්ධව පරික්‍ෂණ කටයුතු ආරම්භ කළේද සංයුතිය සම්බන්ධ සැක පහළවීම නිසාය.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාද ප‍්‍රකාශ කළේ ගෑස්වල ප‍්‍රමිතිය හා ඒ පිළිබඳව නියාමනය කිරීමට මෙතෙක් කලක් කටයුතු කර නැති බවයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් රසායනාගාරය වෙත අදාළ ගෑස් සාම්පල ලැබුණු බවත් එකී සාම්පල් පිළිබඳ එකී රහස්‍ය වාර්තාව කෙළින්ම පාරිභෝගික අධිකාරිය වෙත යොමුකළ බවත් මේ සම්බන්ධයෙන් දිවයින කළ විමසීමට පිළිතුරු දෙමින් පිරිපහදු කළමනාකරු කේ. ජී. එච්. කෝදාගොඩ මහතා සඳහන් කළේය.

රසායනාගාරයට යොමු කළ සාම්පල් ගණන එම සාම්පල් ලබාගත් ආකාරය ඒවා ලැබුණු දිනය ආදී කාරණා සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප‍්‍රකාශ ලබාදීමට තමාට අවසර නොමැති බවත් එකී රහස්‍ය වාර්තාවේ සඳහන් කාරණා තමාද නොදන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.

ගෑස් සිලින්ඩර හා ගෑස් උදුන් පුපුරා ගිනි ගැනීම් සම්බන්ධයෙන් ඉකුත් දිනවල සිද්ධීන් ගණනාවක් වාර්තා වූ අතර රජයේ රස පරික්‍ෂක දෙපාර්තමේන්තුවද මේ පිළිබඳ පරික්‍ෂණ සිදු කර ඇත.

ඒ අනුව රජයේ රස පරික්‍ෂකවරිය වන ජී. රමානා මහත්මියගෙන් මේ පිළිබඳව දිවයින විමසීමක් කළ අතර ඇය කියා සිටියේ එම සිද්ධීන් වී ඇති ආකාරය පිළිබඳව රස පරික්‍ෂක දෙපාර්තමේන්තුව පරික්‍ෂණ සිදුකළත් ගෑස් සංයුතිය හෝ සංඝටක පිළිබඳ පරික්‍ෂා කිරීමට රස පරික්‍ෂක දෙපාර්තමේන්තුවට කිසිදු තාක්‍ෂණික පහසුකමක් නැති බවයි. මේ වනවිට එවැනි පරික්‍ෂණයක් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා ගැනීමට සාකච්ඡුා හා ක‍්‍රමවේද සොයමින් සිටින බවද රජයේ රස පරික්‍ෂකවරිය සඳහන් කළාය.

ඉකුත් දින දෙකේදී පමණක් යාපනය කන්දරොඩෙයි ප‍්‍රදේශයේ ගෑස් ලිපක් පිපිරියාම, කිලිනොච්චිය, තිරුවායිආරුවල ගෑස් ලිපක් පිපිරීම, හලාවත, ආරච්චිකට්ටුව වයිරන්කට්ටුව ගෑස් සිලින්ඩරයක් ගිනි ගැනීම හැටන් මල්ලිඅප්පුව ප‍්‍රදේශයේ ආපන ශාලාවක ගෑස් සිලින්ඩරයක් පිපිරීයාම, මාරවිල නගරයේ ගෑස් සිලින්ඩරයක රෙගියුලේටරය ගිනි ගැනීම ආදී සිද්ධි කිහිපයක් වාර්තා වූ අතර ඉකුත් දා හෝකන්දර ඇතුළු ප‍්‍රදේශ කිහිපයකින්ම මෙයාකාරයට සිද්ධි ගණනාවක් වාර්තා වී තිබිණි.

ගෑස් සිලින්ඩරයක බියුටේන් හා ප්‍රොපේන් සංයුතිය එක්කෝ සියයට 80ත් 20ත් අනුපාතයට හෝ සියයට 70 – 30 යන අනුපාතයට තිබිය යුතු වුවත් මේ දිනවල වෙළෙඳපොළේ අලෙවි කරන ගෑස් සිලින්ඩරවල එම අනුපාතය නිසි පරිදි තිබේද යන්න ප‍්‍රශ්නයක් යැයි පිරිපහදුව භාරව කටයුතු කළ හිටපු උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

කෙසේ වෙතත් 2015 සිට ගෑස් සිලින්ඩර් පිපිරීම් ඇතුළු ගිනි ගැනීීම් සිද්ධි 233ක් වාර්තා වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා කියා ඇත. ඉකුත් කාලයේ ලීටර් 18 සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් කිරීමේදී එය නතර කිරීමට පියවර ගත් බවද ඇමැතිවරයා කියා ඇත. මෙරට ගෑස් සිල්න්ඩර හා ගෑස්වල ප‍්‍රමිතිය පිළිබඳ නියාමනය කිරීමට හෝ ප‍්‍රමිතිය සහතික කිරීමට ආයතනයක් නැත.

මේ අතර මොරටුව විශ්වවිiාලය වෙනම පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති අතර විද්වත් කමිටුවක්ද වෙනම මේ පිළිබඳ සොයා බැලීමට පටන්ගෙන තිබේ.

කෙසේ වෙතත් ගෑස් මිල ඉහළ ගොස් තිබෙන මොහොතක ගෑස් සිල්න්ඩර පුපුරායාම හා ගිනි ගැනීම නිසා පාරිභෝගිකයින් ගෑස් භාවිතා කිරීම සම්බන්ධව දැඩි තැති ගැනීමට ලක්ව සිටී.