එක්දරු මවක අපයෝජනය කළ පුද්ගලයෙකුට වසර 23ක සිරදඬුවමක්

ගම්පහ, ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුළු වී සහ එම නිවස තුළ සිටි එක්දරු මවක අපයෝජනය කිරීම යන චෝදනා දෙකට වරදකරු වූ පුද්ගලයෙකුට ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා බරපතළ වැඩ සහිත වසර 23ක සිරදඬුවමක් නියම කර තිබේ.

එම සිරදඬුවමට අමතරව චෝදනා දෙකට රුපියල් 55,000ක දඩයක් ද නියම කෙරුණු අතර, වින්දිත  කාන්තාවට  රුපියල් ලක්ෂ 02ක වන්දි මුදලක් ගෙවීමටද නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා, එකී දඩ සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත්  වසර 02ක සිරදඬුවමක්ද නියම කළේය.

නිවසකට අයුතු ඇතුළු වීමේ චෝදනාවට නියම වූ බරපතළ වැඩ සහිත වසර 08ක සිරදඬුවම සහ ස්ත්‍රී අපයෝජන චෝදනාවට නියම වූ බරපතළ වැඩ සහිත වසර 15ක සිරදඬුවම වෙන් වෙන් වශයෙන් ගෙවී යා යුතු බවට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා, දඩ මුදල් නොගෙවන්නේ නම් චෝදනා දෙකට  නියම වූ මාස  06 බැගින් වූ සිරදඩුවමද, වන්දි මුදල් නොගෙවන්නේ නම් නියම වූ එක් වසරක සිරදඬුවමද වෙන් වෙන් වශයෙන් ගෙවී යා යුතු බවටද නියම කළේය.

ගම්පහ, හෙන්ඩිමහර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඩබ්.එස්.එම්. සෙනරත් බණ්ඩාර රාජවර්ධන (අවු.56) නමැත්තෙකුට මෙලෙස සිරදඬුවම්, දඩ සහ වන්දි මුදල් ගෙවීමට නියම කෙරිණි.