කෝලිගේ නෝනා මතක් කළ ගවස්කාර්ට ඇබැද්දියක්

අයි.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මීට දින කිහිපයකට පෙර පන්ජාබ් කණ්ඩායම සමග පැවැති තරගයේදී ලකුණු 97 ක දැවැන්ත පරාජයක් ලැබීය. එහිදී විරාට් කෝලිගේ දුර්වල ක්‍රීඩා විලාශය සම්බන්ධව විවේචනාත්මක විස්තර විචාරයක යෙදුණු හිටපු ඉන්දියානු නායක සුනිල් ගවස්කාර්ට මේ වන විට විවිධ පාර්ශ්ශව වලින් ඇඟිල්ල දිගු වී තිබේ.
පන්ජාබ් කණ්ඩායමේ නායක ලොකේෂ් රාහුල් මෙම තරගයේදී පන්දු 69 කදී හයේ පහර හතරක් සහ හතරේ පහර 14 ක් සමග ලකුණු 132 ක් ලබා ගත්තේය. එය අයි.පී.එල්. ඉතිහාසයේ පිතිකරුවකු වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වූ අතර මෙවර තරගාවලියේ වාර්තා වූ පළමු ශතකයද විය. රාහුල් ශතකය කරා යෑමේදී බැංගලෝර් නායක විරාට් කෝලිට දුන් උඩපන්දු දෙකක්ම ඔහු අතහැර දැමුවේය.
අනතුරුව පිතිකරණයට පැමිණි කෝලි පන්දු පහකදී එක් ලකුණකට දැවී ගියේය. එවිට විස්තර විචාරයේ යෙදුණු සුනිල් ගවස්කාර් පවසා සිටියේ, “රට අඟු`ළු දමා තිබූ කාලයේදී කෝලි පුහුණුවීම් කර ඇත්තේ ඔහුගේ බිරිඳ අනුෂ්කාගේ පන්දුවලට පමණක් බවයි.” මෙය විහිළුවට මෙන් ගවස්කාර් කීවද කෝලිට හිතවත් පාර්ශ්ශව සඳහන් කර ඇත්තේ මෙම ප්‍රකාශය හේතුවෙන් ගවස්කාර්ව විස්තර විචාරයෙන් ඉවත් කරන ලෙසයි.
තරගයෙන් අනතුරුව පැමිණි කෝලි, “අපිට ඉදිරියෙන් පන්ජාබ් කණ්ඩායම සෑම අවස්ථාවකදීම ඉදිරියෙන් හිටියා. අපිට වැරදුන තැන කොතැනද කියා මම දන්නවා. මම අත ඔසවා වැරදි තැන් පිළිගන්නවා. ක්‍රිකට් පිටියේ මෙවැනි දේ සිදුවිය හැකියි. ඒවා අපි පිළිගත යුතුයි.” යනුවෙන් පැවසීය.