නවගුණ වැලටත් දෙයියන්ගේම පිහිටයි…

කතරගමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය විවිධ සේවාවන් සපයමින් ජීවිකාව සරි කරගන්නා පිරිස් කතරගම අවට ගම්වල බොහෝය. ඇතැම්හු මල් විකුණති. තවත් පිරිසක් පූජා වට්ටි හා ඒවාට අවශ්‍ය කළමනා මෙන්ම පූජා භාණ්ඩ විකුණති.

කතරගම පුදබිම මුල් කර ගෙන කතරගම ඇතුළු අවට ගම් රැසක ජීවත් වන ජනයා විවිධ භාණ්ඩ විසිතුරු දේවල් නිර්මාණය කර කතරගම පුද බිම වෙත පැමිණෙන බැතිමතුන් හට අලෙවි කර සිය ජීවිකාව ගෙන යන පිරිස ද සුළුපටු නැත. අතීතයේ කතරගමට පැමිණි බැතිමතුන් දෙවියන් වැඳපුදා අවසන්ව යළි සිය ගම්බිම් බලා යද්දී සිය දුවා දරුවන් වෙත පුංචි සිහිවටනයක් හෝ තෑග්ගක් හෝ රස කෑමක් රැගෙන යෑමේ සිරිතක් ද විය. සමහරු රැගෙන ගියේ කතරගම මාල වර්ගයි. දෙව් රුවක් සහිත පැන්ඩනයක් එල්ලෙන මාලයක් දෙකක් හෝ පාට පාට නූල් කිහිපයක් සමහරු වරද්දන්නේම නැත. එසේ නැත්නම් කතරගම රස කළු දොදොල්ය. පුහුල් දෝසි, පැණි බූන්දිවලට ද ඇත්තේ ලොකු ඉල්ලූමකි…

මේවා නිපදවීම ඒ ප‍්‍ර‍්‍රදේශයේ ජනතාවට ලොකු ආදායම් මාර්ගයක් විය. ගෙවල්වල ගෘහ කර්මාන්ත ලෙසද මහා පරිමාණ කර්මාන්ත ලෙසද මේවා කරමින් දියුණු වූ අයද බොහෝය.

එහෙත් අද වන විට මේ සෑම දෙයක්ම කණපිට පෙරළී තිබේ. එදා කතරගම ප‍්‍රදේශයේ කාන්තාවන් අතින් නිම වූ මුතු පබලූ සහිත වූ කතරගම මාල පසෙකලා චීනයෙන් ඉන්දියාවෙන් හොංකොං රටින් රැගෙන එන ප්ලාස්ටික්වලින් නිම වූ මාල වළලූ කතරගම ගමේ නිර්මාණය වූ මාල වළලූ යටපත් කර අපේ රටේ මුදල් පිටරට යවන තැනට වර්තමානයේ පත් වී තිබේ.

එදා පිරිතට, යන්ත‍්‍රමන්ත‍්‍ර ජීවමක් සඳහා 108 ක් මැතිරවීමට ගණනයන් සඳහා භාවිතා කළේ කතරගම නවගුණවැලයි. අදත් බොහෝ දෙනා ඇට 108ක් සහිත නව ගුණ මාල භාවිතා කරනු ලබති. භාවනායෝගීිව සිටින ඇත්තන් සිය භාවනාව ගණනය කිරීමට ද කතරගම නව ගුණ මාල භාවිතා කරති.

මෙයට අමතරව තපස් රකින ඇත්තන්ද නව ගුණයෙන් පිරි මෙම මාල පැළඳීමට ක‍්‍රියා කරන අතර කතරගම වන්දනාවේ පැමිණ යන සැදැහැවතුන් කතරගමින් මෙම මාලයක් රැගෙන ගොස් සිය බුදු පිළිම අසල තැන්පත් කරන අතර ඇතැම් පිරිස් සිය රථයේ ඉදිරියේ එල්ලා ආශිර්වාදය ප‍්‍රාර්ථනා කරති.

දීර්ඝ ඉතිහාසයක් ඇති නව ගුණ මාල වැඩි හරියක්ම නිර්මාණය වූයේ කතරගම ප‍්‍රදේශයෙන්ම පමණක් වූ අතර අද වර්තමානයේ මෙම මාලයට සමානව චීනයෙන් ඉන්දියාවෙන් ප්ලාස්ටික්වලින් නිපැයූ මාල වෙළෙඳ පොළට පැමිණීමත් සමග අපේ රටේ කතරගම ප‍්‍රදේශයේ කාන්තාවන්ගේ සුරතින් නිමවුණ නවගුණ මාලයට අපල කාලයක් උදාවිය.

මෙයට හේතුව වන්නේ චීනයෙන් රැගෙන එන මාල අඩු මුදලකට අලෙවි වීම මත එය නොදන්නා ඇතැම් පිරිස් ප්ලාස්ටික් වලින් නිපැයූ මාල රැගෙන යෑමට හුරුවීමයි.

මේ නවගුණ මාල සඳහා යොදා ගන්නා ඇට ලබාගන්නේ ඒ ප‍්‍රදේශයේම පරිසරයෙනි. ස්වභාවිකව කතරගම ප‍්‍රදේශයේ හට ගන්නා ‘‘දෙබර ගසේ’’ ඇට බිම වැටෙන විට දී ඒවා අහුලා ගන්නා කාන්තාවන් එම ඇට අව්වේ වේලා ගනු ලබති. පසුව සෝදා පිරිසිදු කර දෙබර ඇට විද මෙම මාල නිර්මාණය කර පාට ගන්වා කතරගම මාල කඩ වෙත අලෙවි කිරීම කතරගම අවට කාන්තාවන්ට හොඳ ආදායම් මාර්ගයක් වූහ. මෙම මාල වැඩි වශයෙන් නිර්මාණය කරන කාන්තාවන් පිරිසක් ජීවත් වන්නේ කතරගම නාගහවීදිය හා ගෝතමීගම යන ගම්වලය.

මේ වන විට මෙම ඇටමාල නිර්මාණය කරනු ලබන කාන්තාවන් එක්ව සංවිධානයක් ද පිහිටුවා ගෙන ඇත. මුතුමාල ව්‍යාපෘති සංගමය ලෙස හඳුන්වන මෙහි සභාපතිනිය වන්නේ ගෝතමීගම එච්. ඩබ්ලිව්. සාලිකා මහත්මියයි. ඇය පැවසුවේ මෙම නවගුණ මාල කර්මාන්තය මම වයස අවුරුදු 15 ක සිට සිදු කරනවා කියාය.

කතරගම නවගුණ වැලටත් දැන් ඉතින් දෙයියන්ගේම පිහිටයි…

‘‘දැන් අපේ පළාතේ කාන්තාවන් 200 ඉක්ම වූ පිරිසක් සිටිනවා. නමුත් අපේ මාල ඉස්සර හොඳට විකුණා ගත්තා. මේ වනවිට පිටරටින් ප්ලස්ටික් මාල ගෙන එන නිසා මේවා වැඩිය විකිණෙන්නේ නැහැ. මේවා ස්වාභාවිකව දෙබර ඇටවලින් තමයි හදන්නේ. දෙබර ඇට කොටලා හෝදලා ඩයි කරලා හදනවා. අපේ මේ ස්වයං රැකියාව සිදු කරගන්න රජයෙන් දැනුම මෙන්ම ඇට විදින යන්ත‍්‍රයක් මිලදීි ගන්න සලස්සනවා නම් ඉතාම හොඳයි. අපි හදන මාලවලට විදේශිකයින් හරිම කැමතියි.”

මේ කර්මාන්තය දියුණු කරගන්න පහසුකම් ලබා දෙනවා නම් එය ඉතා අගනා බව එච්. ඩබ්ලිව්. සාලිකා මහත්මිය පැවසුවාය.

ගෝතමීගම අයි. එස්. අයේෂා මහත්මිය වසර 20 කට වැඩි කාලයක් මෙම කර්මාන්තයේ නිරතවන්නීය. ඇය ඒ ගැන පැවසුවේ මෙසේය…

‘‘අපි මේ ඇට 108 ක් දමලා ලොකු මාලයකුත් ඇට 54 ක් දමලා පොඩි මාලයකුත් නිර්මාණය කරනවා. කොරෝනා වසංගතයත් සමග අපිට මාල හදන්න බැරි වුණා. දැන් ටික ටික ආයිත් හදනවා. මම තවමත් බුරුමයකින් තමයි ඇට විදගන්නේ ඇට විදින යන්ත‍්‍රයක් රුපියල් 16000 ක් වෙනවා. එකක් ගන්න උපකාර කරනවා නම් හොඳයි යනුවෙන් අයි.එස්. අයේෂා මහත්මිය සඳහන් කරන්නීය.

වසර 30 ක් පුරා නව ගුණ මාල හෙවත් දෙබර ඇට මාල කර්මාන්තයේ නිරත වන මාතාවක් වන එච්. ඒ. සිරියාවති මහත්මිය අප සමග තවත් කතාවක් කීවාය.

‘‘ඉස්සර මේ මාල ගෙතුවේ බුරුමයකින් දෙබර ඇට විදලා. දැන් නම් විදුලියෙන් විදින මැෂිමකින් තමයි ඇට විදින්නේ. අපි මේ මාල වර්ග ක‍්‍රම කීපයකින් ගොතනවා. තඹ කම්බිවලින් ගොතලා මුතු ඇටත් එක්ක ලස්සන කරන මාලයකුත් තියෙනවා. එකට වැඩි මුදලක් වැය වෙනවා. තව මාලයක් තියෙනවා කම්බිවලින් ගොතනවා. ඒ මාලයක් කඬේ විකුණන්නේ රුපියල් 150 ක් අපිට දෙන්නේ එක් මාලයකට රුපියල් 50 ක් තමයි. මේ මාල ඉස්සර නම් ගොඩක් අලෙවි වුණා. දැන් පිටරටින් එන විවිධ මාල වර්ග වැහි වැහැලා. ඒක නිසා මේ මාලවලට වැඩි වෙළඳපොළක් අද නැහැ.”

ගෝතමීගම සිටින දක්ෂතම මාල ගොතන්නිය වන එස්. අයේෂා මහත්මියට මේ වන විට වයස අවුරුදු 30 කි. ඇය වසර 15 සිට මෙම මාල ගොතන්නියකි. ඇය පැවසුවේ මෙසේය.

‘‘අපේ ප‍්‍රධාන ජීවිකාව තමයි මේ මාල ගෙතීම. කිරි වෙහෙර අවට දෙබර ගස් තියෙනවා. අපි ඒ ඇට ඇහිඳගෙන එනවා. වංගෙඩියේ දමලා කොටලා ඇට සෝදලා වේලලා අරන් තමයි ඇට සකස් කරන්නේ. ඉස්සර අපි ඇට විද්දේ බුරුමෙන්. දැන් විදින මැෂින් තියෙනවා. මැෂින් එකක් රුපියල් 16000 ක් වෙනවා. දැන් ඇට විදින්නත් ලේසියි. අපි දැන් මාල ගොතලා තියාගෙන ඇසළ පෙරහැර කාලේට විකුණනවා. කතරගම එන අය මේ මාලවලට හරිම ආසා නිසා අරන් යනවා. මේ මාලවලට දැන් ප‍්‍රශ්නයක් තියනවා. මේවාට සමානව ප්ලාස්ටික් මාලත් රටින් ගෙනත් තියෙනවා. සමහරක් අය දන්නේ නැතිව ඒවාත් මිල දී ගන්නවා. මෙම මාල ගොතන පවුල් 200 ක් විතර කතරගම ඉන්නවා. අපි ස්වයංරැකියාවක් විදිහට මේ නව ගුණ මාල ගෙතීම සිදු කරනවා. අපිට මේවා දියුණු කර ගෙන යන්න බැංකු ණයක් වගේ සහනයක් දෙනවා නම් මේ කර්මාන්තය තවත් දියුණු කරන්න පුළුවන්‘‘ අයේෂා මහත්මිය පවසන්නීය.

කතරගම ජීවත් වෙන පවුල් අතරින් සියයට හැත්තෑ පහක් පමණ කාන්තාවන් පිරිසක් මල් මාලා ගෙතීමත් ඇටමාල ගෙතීමත් සිදු කරති. අතීතයේ කතරගම මාලවලට මුල් තැන ලැබුණත් විවෘත ආර්ථිකය අපේ රටට පැමිණීමත් සමග අපේ රටේ නිපැයුම්වලට කුඩම්මාගේ සැලකිල්ලක් ලැබුණු අතර පන් පැදුර, වේවැල් පැදුර වෙනුවට ඉටි කොළ පැදුරු අලෙවි වන පරිදිම කතරගම සුකුමාල දෑතින් නිම වන කතරගම මාලවලට ද අපල කාලයක් උදාවී තිබේ. එහෙත් දන්නා අය අදත් මේ නව ගුණ මාල තෝරා ගැනීමේ දී කතරගම ප‍්‍රදේශයේ නිපැයුම්වලට මුල් තැන දෙමින් දේශීය දේවල් ඇගයීමට ලක් කරන අය ද සිටිති.

එපමණක් නොව… දේව ආශීර්වාදය සහිත මේ පුදබිමේ අහිංසකව වෘත්තියක් කර ගනිමින් සාධාරණව මුදලක් හරි හම්බ කරන ජනතාවට සේවාවක් වන පරිදි ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගන්නා අයට විශේෂ දේව ආශිර්වාදයක් ලැබෙතැයි කියාද විශ්වාස කරති.

කතරගම
කේ. ඞී. දේවප‍්‍රිය