ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ජපන් භාෂාවෙන් උපාධි වැඩසටහනක් හඳුන්වා දෙයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ජපන් භාෂාවෙන් උපාධි වැඩසටහනක් හඳුන්වා දී ඇති බව ජපාන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
උපාධි අපේක්ෂකයින්ට විදේශීය භාෂාවලින් දස්කම් දැක්වීමට අවස්ථාව සලසා දෙමින් රැකියා ලෝකයේ සමකාලීන ප්‍රවණතා සපුරාලීම මෙම පීඨයේ උපාය මාර්ගික ඉලක්කවල කේන්ද්‍රස්ථානයක් වී ඇති බව එම නිවේදනයේ දැක්වේ.
එබැවින්, නව අවස්ථා විවෘත කරමින් ජාතීන් දෙකක් එකට සම්බන්ධ කරන භාෂාවක් පිළිබඳ විශේෂීකරණය කිරීමට උපාධි අපේක්ෂකයින්ට හැකි නව උපාධියක් හඳුන්වාදීම, දෙරට අතර අන්‍යෝන්‍ය අවබෝධය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලැකෙන බවද පැවැසේ.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 70 වැනි සංවත්සරය සැමරීමේ උත්සව මාලාවේ කොටසක් ලෙස 2022 පෙබරවාරි 17 වන දින මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය විසින් ශ්‍රී සුමංගල ශ්‍රවණාගාරයේදී උත්සවයක් සංවිධානය කරන ලදී.
මෙම උත්සවයට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩෙයාකි මහතා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති , මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.