ආයුර්වේදය සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානයක්

ආයුර්වේදය සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානයක් යොමුව තිබෙන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අනුරාධපුර ආදිත්‍යා ආයුර්වේද කේන්ද්‍රය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.

“බටහිර රෝහල්වලට වඩා නවීන ආකාරයේ රෝහලක් ආයුර්වේදය වෙනුවෙන් ඇරඹීම සම්බන්ධයෙන් වෛද්‍යාචාර්ය ගුණවර්ධන මහතාට ස්තූතියි.

බටහිරෙන් බලපෑම් පැමිණෙන්න පෙර මේ රටේ පන්සල ආශී‍්‍රතව වෙදකම පැවතුනා.

අනුරාධපුරයේ පුරා වස්තු දෙස බැලීමේදී අපිට මොන තරම් දියුණු ආයුර්වේද ක‍්‍රමයක් පැවතුණාද කියලා පේනවා.

කාලයක් පාරම්පරිකව ආයුර්වේදය කර ගෙන ආවා. නමුත් ඒ ආයුර්වේද වෛද්‍යවරුන් සමගම ඔවුන්ගේ ආයුර්වේද ක‍්‍රම නැති වෙමින් යන අවදියක එවැනි ක‍්‍රමවේද සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ අංශයක්ද මේ රෝහලේ ස්ථාපිත කිරීම ඉතා ම වැදගත්.

ආයුර්වේදය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයෙක් පත්කලේ මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරිමටයි. ආයුර්වේදය සම්බන්ධයෙන් පර්යේෂණායනතයක් තිබුණත් එහි සාර්ථකත්වය ගැන කියන්න බැහැ.

එයින් මොන තරම් පරික්ෂණ කෙරෙනවාද කියන්න දන්නේ නැති නිසා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්නයි ඇමැතිවරයාට සහ නිලධාරින්ට පවසා තිබෙනවා. අපේ සෑම පැලැටියක්ම ආයුර්වේද පැලෑටියක්. ජනතාවට සහ ලෝකයාට ඒ දෙවල්වලින් ප‍්‍රයෝජනයක් ඇති වෙන විදියට කටයුතු කළ යුතු කාලයක්. ”

මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි නා හිමි, මල්වතු පාර්ශවයේ අනුනායක දිවුල්කුඹුරේ විමලධම්ම නාහිමි, අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඩරුවේ උපාලි අනුනායක නාහිමි, රුවන්වැලි චෛත්‍යධිකාරි පල්ලේගම හේමරතන නාහිමි, මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරි ඊතලවැටුණු වැවේ ඥාණතිලක නාහිමි, අනුරාධපුර ජයන්ති විහාරාධිකාරී නුගේතැන්නේ පඥානන්ද හිමි හා එස්. එම්. චන්ද්‍රසේන, එස්. බී. දිසානායක, දුමින්ද දිසානායක අමාත්‍යවරුද, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයා ගමගේ, එස්.සී මුතුකුමාරණ, ඇතුලූ විශාල පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.