මැරිච්ච මළකඳක් වුණ හිඟුරාන සීනි යෝධයා අද ශක්තියක් -සෝමරතන නාහිමි

දිගාමඩුල්ල පුබුදන මහා යෝධයා. දිගාමඩුල්ල ජනතාවගේ ජීවනාලිය වූ හිඟුරාන සීනි සමාගම පසුගිය කාලයේ වසර දහතුනක් වසාදමලා විනාශ කරලා තිබ්බා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන වැඩසටහන යටතේ නැවතත් එය ආරම්භ කරල රාජ්‍ය සහ පුද්ගලික අංශය එක්ව අද ඉතා ශක්තිමත්ව දිගමඩුලු මිටියාවත පමණක් නොව පළාතම දිනෙන් දින දියුණු කරමින් තිබෙනවා. ජනාධිපතිතුමනි ඔබට ඡුන්දය දුන්න හැට නව ලක්ෂයක් ජනතාව මහා සංඝරත්නය ඔබතුමාට මේ කතා කරන්නේ ඔබතුමාට විරුද්ධව නෙවෙයි විෂය භාර ඇමැතිවරයා සහ ඔහුගේ හෙන්චයියලා මේ ආයතන විනාශ කරන්න හදනවා යැයි හිඟුරාණ සීනි ආයතන සුරැකීමේ සංඝ සභාව විසින් හිඟුරාන නගරයේදී 12 වැනිදා සවස පැවති විරෝධතා ව්‍යාපාරයේ දී උතුරු නැගෙනහිර දෙපළාතේ අධිකරණ සංඝනායක කිරි`දිවෙල සෝමරතන නාහිමි විසින් පවසන්නට වූහ.

වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා මාධ්‍ය මගින් හිඟුරාන සීනි සමාගම හෙවත් ගල් ඔය වැවිලි සමාගම රජයට පවරා ගැනීමට යන බව පැවසීම නිසා මෙම විරෝධතාවය පවත්වන්නට විය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සෝමරතන නාහිමි මෙලෙස පැවසූහ.

මේ ආයතනය සේවකයන්ට හොඳින් සලකද්දි, ජනතාවගේ ආර්ථිකය දියුණු වෙද්දී පාලන අධිකාරිය ඉතා හොඳින් කටයුතු කරද්දී ඔවුන්ට සහාය දිය යුතුයි. මේ ආයතනයට අබමල් රේණුවක හානියක් වෙන්න දෙන්න දිගාමඩුල්ලේ මහ සඟරුවන ඉඩ තබන්නේ නෑ. දිවිහිමියෙන් මේ ආයතනය ආරක්ෂා කරනවා. එනිසා ඇමැතිවරයාට කියනවා මේකට අත තියන්න එපා කියලා යැයි කිරි`දිවෙල සෝමරතන නාහිමියන් එම අවස්ථාවේ දී පවසා සිටින්නට වූහ.

උතුරු නැගෙනහිර අධිකරණ සංඝනායක දීඝවාපිය පරිවාර දාගැබ් විහාරාධිපති පෝද්දිවෙල චන්දානන්ද නාහිමියන් මෙලෙස පැවසූහ.

ගල්ඔය වැවිලි සමාගම නිසා දිගාමඬුල්ලට සෞභාග්‍ය උදා වුණා. අපි ඇමැතිතුමාගෙන් අහනවා අද රාජ්‍ය ආයතන මොනාද දියුණු වෙලා තියෙන්නෙ කියලා. ඇල් වතුර දෙන ජලසම්පාදනය පාඩුයි. ජල විදුලිය විදුලි බලය දෙන විදුලිය පාඩුයි. ගුවන් සමාගම පාඩුවේ එවාගේ රාජ්‍ය ආයතන දිගටම පාඩුයි. ඒ නිසා අපි කියනවා හිඟුරාන සීනි සමාගමට අත තියන්න එපා. මේ ජන ජීවිතය අවුල් කරන්න එපා කියලා අපි ඇමැතිතුමාට අපි කියනවා යැයි චන්දානන්ද හිමියන් අදහස් දක්වමින් පවසන්නට විය.

එම අවස්ථාවේ අදහස් දැක්වූ අම්පාර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී සක්නද සංවිධානයේ සභාපති ගම්පහ නාරද හිමියන් මෙලෙස පැවසූහ.

එදා මැරිච්ච මළකඳක් වුණ හිඟුරාන සීනි යෝධයා අද දිගාමඩුල්ලට ශක්තියක් වෙලා. අද ජනාධිපතිතුමාගේ නියෝජිතයා වශයෙන් ඉන්න අම්පාර දිසාපතිවරයා මේ ගැන සොයාබැලිය යුතුයි. කුමන්ත‍්‍රණකාරී ආකාරයට අද ගල්ඔය වැවිලි සමාගම බිළිගන්න උත්සාහ කරමින් තිබෙනවා. දිගාමඩුල්ලේ වැවිලි සමාගමේ කටයුතුවලට බාධා කරන්න එපා කියා අපි කියනවා. කරන්න ආවොත් වෙන්නේ ගල්ඔය වැවිලි සමාගමටත් අනිච්චාවත සංඛාරා කියන්න යැයි ගම්පහ නාරද හිමියන් පැවසූහ.

හිඟුරාණ උත්තර ජයමහ විහාරස්ථානයේ විහාරාධිපති හිඟුරාන සිරිධම්ම හිමි මෙලෙස අදහස් දැක්වූහ.

ඇමැතිතුමාට නොසන්ඩාල හිතුවක්කාර වැඩ කරන්න එපා කියලා කියනවා. කෑදර පෙරේත, මගඩි දේශපාලකයෝ ඉන්නවා. නොසන්ඩාල හිතුවක්කු කාර වැඩ කරන්න එපා කියලා අපි ඇමැතිවරයාට කියනවා. සියයට පනස් එකක් රජයට තියෙන්නෙ 49%ක් පුද්ගලික ආයතනයට තියෙන්නෙ. එහෙම තියෙද්දි විශාල මුදලක් වියදම් කරලා මේ ආයතනය දියුණු කරලා තියෙන්නේ. ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට කියනවා මේ ගල් ඔය වැවිලි සමාගම රැක දෙන්න කියලා යැයි හිඟුරාන සිරිධම්ම හිමියන් පැවසුහ.

හෑගොඩ විමලඥාන හිමියන් මෙලෙස අදහස් දැක්වූහ.

මෙය ධනය උපයන උල්පතක්. පුද්ගලික ආයතන හා රජයත් සමග එකතුවෙලා ගොඩනැඟුවේ ලක්ෂ සංඛ්‍යාත, කෝටි සංඛ්‍යාත මුදලක් වියදම් කරලා. වසර 13 ක් වහල තිබ්බ ආයතනය ගොඩනැඟුවේ.

ගොවීන්ට සේවකයන්ට ප‍්‍රජාවට ප‍්‍රතිලාභ රැසක් හිමිවෙනවා. කාබනික පොහොර, විදුලිබලය නිෂ්පාදනය ඇතුළු විවිධ නිෂ්දපාන රැසක් සිදු කරලා උක් ටොන් එකකට රුපියල් 6250ක සාධාරණ මිලක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. එහෙම තියෙන ආයතනයක් විනාශ කරන්න හදන කාලකණ්ණි වැඩ කරන ඇමැතිවරයා පන්නා දමන්න කටයුතු කරනවා. ඒ නිසා මේ ආයතනය විනාශ කරන්න හදන්න එපා යැයි හෑගොඩ විමලඥාන හිමියෝ පැවසුහ.