හතරේ සීමාවෙන් එහා අපේ රටට ජයග්‍රහණ රැසක් අත්කර දුන් තරගාවලියක්

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා එක් දින ක්‍රිකට් තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබියදී වාර්තා ගත අයුරින් තරග 3-1ක් ලෙස ඉදිරියෙන් සිටීමට ඊයේ දිනය (24දා) වන විට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණද එම තත්වය 4-1ක් ලෙස ශක්තිමත් කරගන්නට ඊයේ පැවැති පස්වැනි එක් දින තරගයේදී ශ්‍රී ලංකාවට අවස්ථාව නොලැබුණේ ඕස්ට්‍රේලියානුවන් කඩුලු 4ක ජයක් අත්කරගත් නිසාය.
එවන් ශක්තිමත් ප්‍රතිඵලයකට ඉඩක් නොලැබුණේ ශ්‍රී ලංකා පිලේ දුර්වල පිතිහරය නිසාම වන අතර කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 43යි පන්දු 1කදී ලකුණු 160කට සීමා වූයේ මෙවර එක් දින තරගාවලියේ ඔවුන්ගෙන් වාර්තා වූ අඩුම ලකුණු සංඛ්‍යාව සටහන් කරමිනි. ඒ අනුව ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 161ක ඉලක්කයට යාමේදී ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 5ක් දැවී ලකුණු 101ක් ලබා අසීරු තත්ත්වයකට පත්ව සිටි නමුත් මිචෙල් මාෂ්ගේ දැවී යෑමෙන් පසු කේරිට එක්වූ මානස් ලබුෂේන්(ලකුණු 31) 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51 ක් රැස් කළේය.එක් හතරේ පහරක් පමණක් ඇතුළත් වූ ඇලෙක්ස් කේරීගේ ලකුණු 45 මෙන්ම කේරි 6වැනි කඩුල්ල වෙනුවෙන් කැමරන් ග්‍රීන් සමඟ නොබිඳුන ලකුණු 41ක සබඳතාවක් ගොඩනැඟීම නිසා පන්දුවාර 10කට වඩා ඉතිරිව කඩුලු 6ක් පමණක් දැ වී ශ්‍රී ලංකාව පරාජයට පත්කළේය..
ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් දක්ෂතා පෙන්වූ මෙම තරගයේදීත් දුනිත් වෙල්ලාලගේ ලකුණු 42ට කඩුලු 3ක් දවා ගනිමින් කැපී පෙනුන අතර ප්‍රතිවාදීන් ඉලක්කය හඹා යෑමේදී පළමු කඩුලු 3 ම ලකුණු 19 කදී බිඳ හෙළීමට මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාගේ සමත්වූහ.තම මංගල එක් දින තරගයට සහභාගී වූ වේග පන්දු යවන ප්‍රමෝද් මදුශාන් මිචෙල් මාෂ්ගේ කඩුල්ල දවා ගනිමින් දස්කම් දැක්වුවද ශ්‍රී ලංකා පිතිකරුවන් ලබා දුන් ලකුණු ප්‍රමාණය එම පන්දුයවන්නන් හට යැපෙන්නට ප්‍රමාණවත් නොවීය.ප්‍රමෝද් තම මංගල තරගයේ පන්දු යැවීම පන්දුවාර 3 කදී ලකුණු 13 කට එක් කඩුල්ලක් ලෙස සනිටුහන් කර ගත්තේය.
කෙසේ වෙතත් ජෝස් හේස්ල්වුඩ් සහ පැටි කමින්ස්ගේ වේගපන්දු හමුවේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන ගුණතිලක හා නිශ්සංක දෙදෙනා ඇතුළුව කඩුලු 3ක්ම බිඳ වැටෙන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ සටහන් වූයේ ලකුණු 34ක්පමණි. ඉන් පසුව අසලංක හා වැන්ඩර්සේ දුවද්දී දැවී යාමත් කුසල් මෙණ්ඩිස් අනවශ්‍ය ලෙස යළිත් වරක් හිට්-විකට් කරගැනීමත් නිසා ඉදිරි‌ පෙළ කඩුලු 8 ම ලකුණු 85 කදී බිඳ වැටී තිබුණි.
එවන් දැඩි අවධානමකට ශ්‍රී ලංකා කණ්ඩායම ලක්ව සිටි මොහොතක චාමික කරුණාරත්න පන්දු 74කින් රැස් කරන ලද ලකුණු 75 ත් ප්‍රමෝද් මදුශාන් රැස් කරන ලද ලකුණු 15 ත් හේතුවෙන් මෙන්ම ඔවුන් දෙදෙනා එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු 58 ක සම්බන්ධතාව ප්‍රධාන කොට ලකුණු 160 ක් දක්වා ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දමා ගැනීමට හැකියාව ලැබිණ.චමීරගේ මෙම ඉනිම හේතුවෙන් ඔහු තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලබද්දී තරග පහේදී ලකුණු 249ක් රැස් කළ කුසල් මෙන්ඩිස් තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. තවද තරග 5 ටම ක්‍රීඩා කළ වේලාලලෙග් (කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 22.33 ක් රදවා තබා ගනිමින්) මුලු කඩුලු 9 ක් දවා ගනිමින් පන්දු යවන්න්න අතර පෙරමුණ ගන්නා විට ඕස්ට්‍රේලියාවේ වේගපන්දු යවන පැට් කමින්ස් කඩුලු 8ක් ලබා 2වැනි තැනට පත්විය.
අසීරු අවස්ථාවේදී සහාය දැක්වීම සදහා ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානුවන්ට කෘත ගුණ සැලකීමක් වශයෙන් තරගය නැරඹීමට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ඊයේ පැමිණ සිටි 35,000 කට අධික ක්‍රීඩා ලෝලීන් අතර වැඩි පිරිසක් කහ පැහැති වර්ණයෙන් සැරසී සිටිනු දක්නට ලැබීමද විශේෂත්වයකි.
කෙසේ වෙතත් තරගාවලිය අවසානයේ සිංහල භාෂාවෙන්ම ශ්‍රී ලාංකික නරඹන්න හට ස්තුති කිරීමට ඕස්ට්‍රේලියානු නායක ඇරන් ෆින්ච් අමතක නොකළ අතර ශ්‍රී ලංකාවට උදව් කරන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටීමට ස්මිත්, ස්ටාක් හා මැක්ස්වෙල් යන ක්‍රීඩකයින්ද තරගාවලිය අතර තුරදී කටයුතු කළහ.

ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී 160 (චාමික 75, හේසල්වුඩ් 2-22, කමින්ස් 2-22)
ඕස්ට්‍රේලියාව කඩුලු 6කට 164 (කේරි 45*, වෙල්ලාලගේ 3-42)