ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මිනිස් ජාවාරමක

ක්‍රිකට් බෝඩ් එකෙන් ලිපි ලබාදී සංගම්වල මිනිස්සු රට පටවලා
ඔස්ට්‍රේලියාවට, එංගලන්තයට ගිය අය එරටදී ගල්වෙලා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) ඈෂ්ලි ද සිල්වා මිනිස් ජාවාරමක නිරත වී ඇති බවට තොරතුරු අනාවරණය වේ. ඒ අනුව ඔහු විසින් ක්‍රිකට් බෝඩ් එකෙන් ලිපි ලබාදී දිස්ත්‍රික් සංගම්වල මිනිස්සු රට පටවා ඇති බවත් ඔස්ට්‍රේලියාවට, එංගලන්තයට ගිය අය එරටදී ගල්වී නැවත මෙරටට පැමිණ නැති බවත් අනාවරණය වේ.
ඒ අනුව ඈෂ්ලිගේ ලිපි ශීර්ෂය යටතේ පසුගිය ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට ගිය නිශාන්ත පෙරේරා (මොහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඡන්දය හිමි ක්‍රීඩා සමාජයක් වන MUNICIPLITYහි සාමාජිකයෙකි) යන අය නැවත මෙරටට පැමිණ නොමැති අතර, ඒ සඳහා ඈෂ්ලි සහ ඔහු අතර මුදල් හුවමාරුවක්ද වී ඇති බවට ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
මී ළඟට ඈෂ්ලි විසින් රට පටවා ඇත්තේ මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් උපභාණ්ඩාගාරික වන සුජීව ගොඩලියද්ද මහතාගේ දියණිය වන රිද්මිකා ගොඩලියද්ද (Ridmika Godaliyadda) සහ ඔහුගේ බෑණා වන වරීන් වීරකෝන් (Wareen Weerakoon) යන අයයි.
මොවුන් දෙදෙනාට එංගලන්තයේ වීසා ලබාගැනීමට ඈෂ්ලි ලිපි නිකුත් කර ඇත්තේ ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ් එකේ සේවය කරන සේවකයන් ලෙස හඳුන්වමිනි.
සුජීව ගොඩලියද්ද මහතාගේ දියණිය වන රිද්මිකා ගොඩලියද්ද ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරුවෙකු ලෙස හඳුන්වා දී ඇති අතර, ඔහුගේ බෑණා වන වරීන් වීරකෝන් Swimming Pool Manager කෙනෙකු ලෙස හඳුන්වාදී වීසා ලිපි නිකුත් කර ඇති බවට මේවනවිට තොරතුරු අනාවරණය වේ.
ඔවුන් දෙදෙනාද ගල්වී ඇති බවත් මේ හේතුව නිසා ඈෂ්ලිට යළිත් එම රටවලට වීසා ලබාගැනීමට ලිපි නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක්ද උදාවී තිබේ.
මේවනවිට මේ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිල්ලක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් වෙත සිදු කිරීමට ක්‍රිකට් බෝඩ් එකේම පිරිසක් කටයුතු කරමින් සිටිති.
ක්‍රිකට් බෝඩ් එකේ සේවය කළ නිලධාරීන් මීට පෙරත් මේ ආකාරයෙන් මිනිසුන් රට පටවමින් මිනිස් ජාවාරමේ නිරත වී ඇති බවටද තොරතුරු අනාවරණය වේ.
මීට අමතරව 2022 වසරේ ඩුබායිහි පැවැත්වුණු ආසියානු කුසලානයට සහ ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණු T20 ලෝක කුසලානයට ක්‍රිකට් බෝඩ් එකේ වියදමින් නළු නිළියන් විශාල පිරිසක් රට සවාරි සඳහා ගොස් ඇති අතර, මෙම තරගාවලි ද්විත්වය සඳහාම ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා නළු නිලියන් රැසකට වීසා ලබාගැනීම සඳහා ලිපි නිකුත් කර ඇති බවද හෙළිව තිබේ.