ෂම්මිලා, සුජීවලා, මොහාන්ලා, රවීන්ලා ක්‍රිකට් සංගම්වල ඡන්ද ගන්න අල්ලස් දුන්නු හැටි හෙළිවෙති

ක්‍රීඩා සංගම්වල සභාපතිවරු, ලේකම්වරුන්ට ලක්ෂ ගණනින් පඩි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දිස්ත්‍රික් සංගම්වල සභාපතිවරු, ලේකම්වරුන්ට ලක්ෂ ගණනින් පඩි ගෙවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ඡන්දය ලබාගැනීමට අල්ලස් ලබා දුන් අයුරු මේවනවිට හෙළිවී ඇතැයි වාර්තා වේ.
එනම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජික දිස්ත්‍රික් සංගම්වන හම්බන්තොට, මාතර, ගාල්ල, මොනරාගල, මහනුවර, මාතලේ, අම්පාර, මඩකළපුව, ත්‍රිකුණාමලය, වවුනියාව යන දිස්ත්‍රික් සංගම්වල සහ සමහර පළාත් සංගම්වල (උතුරුමැද පළාත, මධ්‍යම පළාත) සභාපතිවරු, ලේකම්වරු, උපසභාපතිවරු, භාණ්ඩාගාරිකවරු සහ කමිටු සාමාජිකයින් සඳහා මෙලෙස රු. 50,000 සිට රු. ලක්ෂ 02කට වැඩි වැටුප් ලබාදී ඡන්ද අල්ලසක් නිර්මාණය කරදී තිබේ.
මෙය ඡන්ද අල්ලසක් වනුයේ මෙම දිස්ත්‍රික් සංගම් අතිබහුතරයක් කිසිදු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාවක නියැළෙන්නන් නොවන අතර, හුදෙක් ක්‍රිකට් නිලවරණයේ ඡන්ද ලබාගැනීම සඳහා පමණක් මෙම දිස්ත්‍රික් සංගම් ක්‍රියාත්මක වීමයි.
ඒ අනුව හම්බන්තොටට තනතුරු 05ක්, මාතරට තනතුරක්, ගාල්ලට තනතුරු 03ක්, මොනරාගලට තනතුරු 02ක්, මහනුවරට තනතුරු 03ක්, මාතලේට තනතුරු 09ක්, අම්පාරට තනතුරක්, මඩකළපුවට තනතුරක්, ත්‍රිකුණාමලයට තනතුරක්, වවුනියාවවට තනතුරක් යනාදී වශයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකාරක තනතුරු නිර්මාණය කරමින් සංගම්වල සභාපතිවරුන්ට ලේකම්වරුන්ට, උපසභාපතිවරුන්ට, භාණ්ඩාගාරිකවරුන්ට සහ කමිටු සාමාජිකයින්න්ට මෙලෙස රු. 50,000 සිට රු. ලක්ෂ 02කට වැඩි වැටුප් ගෙවා ඇත.


මෙහිදී වැඩිම තනතුරු ප්‍රමාණයක් ලබාදී ඇත්තේ මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයටයි. එය 09ක් වන අතර, ඊට මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනේ වත්මන් උපභාණ්ඩාගාරික වන සුජීව ගොඩලියද්ද මහතාගේ බෑනලා, මස්සිනාලා ඇතුළු පවුලේ සාමාජිකයින්ද ඇතුළත්ය.


මෙම දිස්ත්‍රික් සංගම්වල සභාපතිවරු, ලේකම්වරු, උපසභාපතිවරු, භාණ්ඩාගාරිකවරු සහ කමිටු සාමාජිකයින් රැකියාවක් නොකරන අතර, කාලයක සිට (2019 වසරේ සිට) ඔවුන්ගේ ආදායම් මාර්ගය වී ඇත්තේ මෙය බවට කරුණු අනාවරණය වේ.