ක්‍රීඩා ඇමතිගේ උපදේශක සියලු වංචා යට ගසයි…! ඇමති සහ ක්‍රීඩා සභාව නිහඬයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ ක්‍රීඩා සංගම් කිහිපයක සිදුව ඇතැයි පැවසෙන දුෂණ, වංචා සහ අක්‍රමිකතා රාශියකට දඬුවම් නොපැමිණවීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයේ සිට අදිසි හස්තයක් ක්‍රියාත්මකව තිබේ.
මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විශාල මුදලක් වැය කරමින් අල්ලාගෙන ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදේශක ලෙස කටයුතු කරන සුදත් චන්ද්‍රසේකර මහතායි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය නැරඹීම සඳහා රු. ලක්ෂ 100කට වැඩි මුදලක් අත යටින් ලබාදී ඇතැයි පැවසෙන අතර, ඔහු එම තරගාවලිය සඳහා සහභාගී නොවී එම එම වරදාන වරප්‍රසාද භුක්ති විඳි බවට ක්‍රිකට් ක්ෂේත්‍රයේ රාවයක් පවතී. මේ හේතුවෙන් ඔහු මේවනවිට අති දුෂිතයින් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා සහ ක්‍රිකට් විධායක කමිටුව ආරක්ෂා කිරීමේ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව වාර්තා වේ.

ක්‍රීඩා අමාත්‍යවරයා කළ හොඳ දෑ වැරදි බවට පෙන්වීමේ මෙහෙයුමක්
1973 අංක 25 දරන ක්‍රීඩා පනතට ක්‍රීඩා අමාත්‍යවරයා එක්කළ නව රෙගුලාසි යළිත් ‘රිවස්’ කිරීමට මාන බලන මෙම උපදේශකයා කුසලා සරෝජිනී කමිටු වාර්තාවෙන් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදීද කකුලෙන් ඇදීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටියි.
මේ සම්බන්දයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා සහ ජාතික ක්‍රීඩා සභාව ඇස් කන් පියාගෙන ගොළුවන් බීරන් සේ සිටීමෙන් මෙම දුෂිතයින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තවතවත් අගාධයට ගෙනයාම කිසිසේත් කුමන ජගතාට හෝ වැලැක්වීමට නොහැකිවී තිබේ.
ක්‍රිකට් ආයතනයේ ඩොලර් මලු ඒ තරම් මෙරට ක්‍රීඩාවට බලපෑමක් සිදු කර තිබේ.
එහෙයින් ක්‍රීඩා අමාත්‍යවරයා කළ ක්‍රීඩා පනතට කළ නව සංශෝධන සහ හොඳ දෑ වැරදි බවට අර්ථකථනය කර පෙන්වීමේ මෙහෙයුමක් මෙම උපදේශකයා මාර්ගයෙන් දුෂිතයින් රැල ආරම්භ කර තිබේ.
මෙම උපදේශක සුදත් චන්ද්‍රසේකර මීට පෙර වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ අතර, ඔහුව ප්‍රසිද්ධියේ විවේචනය කිරීම සහ මේ ආකාරයෙන් වැරදි වැඩ කිරීම නිසා ඉන් ඉවත් කළ බව රටම දන්නා කරුණකි.
දැන් ක්‍රීඩා අමාත්‍යවරයාට ලංව ඔහුගෙන් උපදේශක තනතුරක් ලබාගෙන අමාත්‍යවරයාගේ ප්‍රතිරූපය විනාශ කරමින් සිටියි. මේ සඳහා මෙරට ප්‍රධාන පෙළේ ක්‍රීඩා සංගම්වන ක්‍රිකට්, පාපන්දු, රග්බි සහ තවත් ක්‍රීඩා සංගම් කිහිපයක් යහමින් මුදල් වියදම් කර තිබේ.
අමාත්‍යවරයා වගඋත්තරකරුවෙකු කරමින් එම සංගම් නඩු පවරන්නේද මෙම මෙහෙයුමේ තවත් එක් කොටසක් ලෙසිනි.

ගිරයට අසු වුණු බිරින්දෑවරුන්ගේ සංගමය
මෙරට ප්‍රධාන පෙළේ ක්‍රීඩා සංගම්වල බලයට නතුවුණු බිරින්දෑවරුන්ගේ සංගමයක් පිළිබඳවද කරුණු වාර්තා වේ. මෙම බිරින්දෑවරුන්ගේ සංගමයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ බිරිඳ, ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ බිරිඳ සහ මෙරට ප්‍රධාන පෙළේ ක්‍රීඩා සංගම්වල සභාපතිවරුන්ගේ බිරින්දෑවරු අයත් වෙති.
මෙරට ක්‍රීඩකයින් ක්‍රීඩා කර උපයන මුදල් මෙම බිරින්දෑවරුන්ගේ සංගමය ඉවක් බවක් නැතුව වියදම් කරන බවට රාවයක් පවතින්නේ ප්‍රධාන පෙළේ ක්‍රීඩා සංගම්වල සභාපතිවරුන්ගේ බිරින්දෑවරු මාර්ගයෙනි. ක්‍රීඩා අමාත්‍යවරයාගේ බිරිඳ, ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ බිරිඳ සහ මෙරට ප්‍රධාන පෙළේ ක්‍රීඩා සංගම්වල සභාපතිවරුන්ගේ බිරින්දෑවරු ගමන් බිමන් යන්නේ, කන්නේ බොන්නේ එකටයි. ඔවුන් අතර මේ වනවිට සහෝදරකම්වලටත් එහා ගිය බැඳීම් පවත්වාගෙන යයි.
එනිසා මෙම බිරින්දෑවරුන්ගේ සංගමය නවතා නොදැමුවහොත් ඉන් විනාශ වන්නේ මෙරට ක්‍රීඩාව බව ක්‍රීඩා අමාත්‍යවරයා දැන්වත් තේරුම් ගත යුතුය.
මීට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා සහ ක්‍රීඩා අමාත්‍යවරයාද අනුබල දෙන බවට රාවයක් පවතින අතර, ඔවුන්ගේ දැඩි නිහඬ භාවය නිසා එය තහවුරු වී තිබේ.
එනිසා අමාත්‍යවරයාගෙන් මෙන්ම ජාතික ක්‍රීඩා සභාවෙන්ද අප ඉල්ලා සිටිනුයේ මෙවැනි උපදේශකයින් සහ බිරින්දෑවරු මෙරට ක්‍රීඩාවට සිදු කරන මෙම විනාශය දැක දැක ගොළුවන් බීරන් සේ නොසිටින ලෙසයි.
අමාත්‍යවරයා දැන්වත් මෙම උපදේශකයා ඉවත් නොකළහොත් මෙරට ජනාධිපතිවරයාව එකදිගට මැතිවරණවලින් පරාජය කළා සේම අමාත්‍යවරයාවද ඔහු පරාජය කරන බව සහතිකය. එම මෙහෙයුම් මෙම උපදේශකයා ආරම්භ කර ඇත්තේ ක්‍රිකට් ඇතුළු ප්‍රධාන පෙළේ ක්‍රීඩා සංගම්වල මුදල් බලයෙන් බව අමාත්‍යවරයා දැන්වත් තේරුම් ගත යුතුය.