Friday, April 26, 2024
Home Headlines ‘ස්වාධිනව කටයුතු කරන්න බැරි නිසයි ගියේ – පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක...

‘ස්වාධිනව කටයුතු කරන්න බැරි නිසයි ගියේ – පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ  තුෂාන් ගුණවර්ධන

පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ  තුෂාන් ගුණවර්ධන මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ. සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාරිභෝගික සේවා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට යොමු කරමින් හෙතෙම ඉල්ලා අස්වී තිබේ.දිගින් දිගටම එල්ලවන දේශපාලන බලපෑම් හමුවේ සිය රාජකාරිය ස්වාධීනව කරගෙන යාමට නොහැකි බැවින් ඉල්ලා අස්වන බව ඔහු පවසා සිටියේය. සුදුලූණු කන්ටේනර් දෙකක් නීති විරෝධීව පිටකිරීම ඇතුළු සිද්ධීන් ගණනාවක් සම්බන්ධව තමන් වෙත බලපෑම් පැමිණි බවත් දිගින් දිගටම ඉල්ලා අස්වන ලෙස එන බලපෑම් හමුවේ තමන් ඉල්ලා අස්වන බවත් කී ගුණවර්ධන මහතා මේ වනවිට තම රියැදුරු හා ආයතනෙයන් දුන් වාහනය පවා මේ වනවිට සභාපතිවරයා වෙත භාර දී ඇතැයි පැවසීය.

සීනි පිටි උඳු ඇතුළු පාරිභෝගික භාණ්ඩ රාශියක් මෙසේ වංචා සහගත ලෙසින් පිට පාරේ යන බවත් මෙම සුදුළූණු සිද්ධියේ දී සිදුව ඇත්තේ සතොස මගින් ගෙන්වූ සුදුළූණු වෙනත් ආයතනයකට විකුණා එයින්ම යලී සතොසට මිල දී ගැනීම යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇති තැනැත්තා පමනක් ඊට ඉහල තැනැත්තන් පවා ඊට සම්බන්ධ බවත් පෙන්වා දුන් ඔහු මේ සම්බන්ධව වැඩ තහනමට ලක්වන නිලධාරින් ජනතාවට අමතකව ගිය පසු යළි සේවයේ පිහිටුවන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

දේශපාලන පත්වීමක් වුවත් තමන් හැකි අන්දමින් වංචා දූෂණ මැඩලීමට උත්සාහ කළ නමුත් සමහර දේශපාලඥයින් සමග එය කළ නොහැකි බව පැහැදිලි බැවින් තවදුරටත් මෙම තනතුරේ සිටීමෙන් පළක් නැතැයි ද ඔහු කියා සිටියේය.