ඉයන් බොතම් හා ෂේන් වෝන් ගාලු ක්‍රිකට් පිටියට බැල්ම හෙළති

ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරිමේ අරමුණින් දේශීය යටිතල පහසුකම් සඳහා මුදල් ලබා දීම මඟින් ක්‍රියාත්මක වන මෙරට ක්‍රීඩා සමාජ අතරින් ආදර්ශයක් සපයන කීර්තිමත් ගාලු ක්‍රිකට් සමාජය (GCC) ඔවුන්ගේ අභිවෘදියට තවත් පියවරක් තබමින් එහි නව ක්‍රිකට් කමිටුවට හිටපු පළමු පෙළ ක්‍රීඩකයින් තිදෙනෙකුම නම් කර ඇත.

ඒ අනුව දුමින්ද වික්‍රමසිංහ (මහින්ද විද්‍යාලය), නිහාල් ධර්මසිරි (රිච්මන්ඩ් විද්‍යාලය) සහ ශාන්ත ද සිල්වා (ශාන්ත ඇලියෝසියස් විද්‍යාලය) යන මහත්වරුන්ගෙන් නව ක්‍රිකට් කමිටුව සමන්විත වනු ඇත. ඔවුන් තිදෙනාම ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා සමාජය වෙනුවෙන් පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කර ඇති අතර ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩා කරනා පාසැල් තුනකින් පැමිණ තිබීමද විශේෂත්වයකි.
ක්‍රීඩා සමාජයේ බාහිර ක්‍රියාකාරකම් වලට මැදිහත් වීමකින් තොරව ගාලු ක්‍රිකට් සමාජයේ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ කටයුතු වල පමණක් නිරතවීම ඔවුන්ගේ ප්‍රධාන රාජකාරිය බව පැවැසෙන අතර ඊට අමතරව ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ සභාපති කුමාර් සමරසිංහගේ අධීක්ෂණය තුළ ඉහළම තීරණ ගැනීම සඳහා යහපත් පරිපාලන ව්‍යුවයක් වර්තමානයේදී ස්ථාපිත කර ඇත. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟද සහයෝගීතාව පවත්වාගෙන යන එවන් කළමණාකාරීත්වයක් සහිත පසුබමික් තුළ වත්මන් ශ්‍රී ලංකා 19න් පහළ වේගපන්දු පුහුණුකරු චමිල ගමගේටද මෙම ක්‍රීඩා සමාජය සමඟ කටයුතු කිරීම වඩාත් පහසු වී ඇතැයි ගාලු ක්‍රිකට් පරිපාලනයේ ජ්‍යේෂ්ඨයෙකු අප වෙත පැවැසීය

“ඉහළ පළපුරුදු මේ සියලුම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සේවයත් සමඟින් එළැඹෙන දේශීය ක්‍රිකට් තරග වාරයේදී පැහැදිලි වෙනසක් කරන්නට අපිට අවසථාවක් තියෙනවා. මෙම සියලුම ධනාත්මක පියවරයන් ගැනීමේ ගෞරවය හිමිවිය යුත්තේ මෙරට ආයතනික ක්ෂේත්‍රයේද ප්‍රවීණයෙකු වන අපේ ක්‍රිකට් සමාජයේ ගරු සභාපති තුමාටයි“ යනුවෙන් ද එකී ඉහළ නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

මෙසේ සඳහන් කළේ වර්තමානයේදී ගාලු ක්‍රිකට් ක්‍රීඩා සමාජය සම්බන්ධයෙන් අපට ඇසුන කතාවකි. මේ අනුව නම් මෙම ක්‍රිඩා සමාජයේ අනාගතයද ජයග්‍රාහී බව මුසුවූ ඉතාමත් යහපත් දිප්තිමත් එකක් වනු ඇත. එසේ කියන්නට තවත් එක් ප්‍රධාන හෙතුවක් වන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හතරේ සීමාව තුළ සැරිසරනා ක්‍රීඩකයින් ගෙන් වැඩි පංගුවක් මෙම ගාලු ක්‍රිකට් සමාජයට හෝ ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයට උරුමකම් කීමයි. කෙසේ වෙතත් වර්තමානය මෙන්ම අනාගතයද සුභදායී බවක් පෙනුණද ගාල්ල සහ ගාලු ක්‍රිකට් පිළිබඳ අතීත වංශ කතාව ජය-පරාජ, ආක්‍රමන-සංක්‍රමන හා නිර්මාණ සම්පත්- සුනාමි විපත් යන සියළු ක්‍රියාදාමයන් ගෙන් පිරී ගිය අමිහිරි-රසවත් දෙමුහුන් එකකි. ලෝක උරුමයක් නම් සහතිකය ලත් පරිශ්‍රයක් තුළ මෙරට පිහිටි එකම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයද ගාල්ල ක්‍රීඩාංගණයයි. එනිසාම ගාල්ල ක්‍රීඩාංගණයේදී දැන් බිහිවන ක්‍රිකට් වාර්තා වලට වඩා එදා පෘතුගීසින්, ලන්දෙසීන් හා ඉංග්‍රීසීන් ගාල්ල අල්ලා ගන්නට කළ සෙල්ලම් වල වාර්තා රසවත්ය.

පෘතුගීසි මුහුදු කපිතාන්වරයෙකු වූ ලොරන්ස්කෝ ද අල්මේදා 1505දී වෙළඳ සබඳතා ඇති කර ගැනීමේ අරමුණින් මාලදිවයිනේ ගවේෂණය සඳහා යවන ලදී. කෙසේ වෙතත්, ප්‍රතිවිරුද්ධ සුළං හේතුවෙන්, අල්මේදාගේ යාත්‍රාව ගාලු වෙරළ දෙසට ඇද වැටුණි. එතැන් සිට පෘතුගීසීන්ගේ බැල්ම ගාල්ල දෙසට යෙමු වුණි. ගාල්ලේ රැකවරණය ලබා ගත් පෘතුගීසීන් 1588 දී සැන්ටා කෲස් ද ගේල් නම් බලකොටුවක් ගොඩනඟා ගත්හ. 1640 දී මහා වටලෑමෙන් අනතුරුව ගාලු නගරය ලන්දේසීන් අතට පත්වීමෙන් පසු සම්පූර්ණයෙන්ම පාහේ ප්‍රතිස්ථාපනය කරන ලද අතර පෘතුගීසි ඉදිකිරීම් පිළිබඳ අද බොහෝ දේ ඉතිරිව නැත.

ගාලු කොටුවේ මෙම දුෂ්කර ජයග්‍රහණයත් සමඟ ලන්දේසීන්ට විශාල වරායක් සහ නාවික කඳවුරක් වෙත ප්‍රවේශය ලැබුණි, එය ඉන්දියාවේ ගෝව අවහිර කිරීමට සහ දකුණු ඉන්දියාවේ පෘතුගීසි බලකොටුවලට පහර දීමට ඔවුන්ට සහාය විය. දකුණු ශ්‍රී ලංකාවේ ඉහළම ආදායමක් උපයාගත් වටිනා කුරුඳු ඉඩම්වල පාලනය ද ඔවුන් සතු විය. 1656 දී කොළඹ අල්ලා ගන්නා තෙක් ගාල්ල ශ්‍රී ලංකාවේ ලන්දේසි මූලස්ථානය බවට පත් විය. ගල් හා කොරල්පර වලින් ඉදිකරන ලද නව බලකොටුව ලන්දේසීන් විසින් ගාලු තුඩුව ලෙස නම් කරන ලද අතර එය අද දක්වාම පවතී.
පෘතුගීසීන් මෙන් නොව, ලන්දේසීන් ගාල්ලේ උපායමාර්ගික සහ ආර්ථික වටිනාකම් පිළිබඳව ඇස් යොමා සිටි අනෙකුත් යටත් විජිත බලවේගවලට එරෙහිව තම ස්ථානය ආරක්ෂා කර ගැනීමට අපේක්ෂාවෙන්, අපරාජිත බලකොටු ඉදිකරමින් මුළු අර්ධද්වීපයම වට කිරීමට තීරණය කළහ.
එහෙත් 18වැනි සියවස වන විට ලන්දේසීන්ගේ සියලු බලාපොරොත්තු අත්හැර දැමීමට සිදුවිය. මහා බ්‍රිතාන්‍යය 1796 දී ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීම ආරම්භ කළ අතර, ඔවුන් යම් කුඩා ප්‍රතිරෝධයන් සහිතව දිවයිනේ වෙරළබඩ ප්‍රදේශවල පදිංචි විය. ගාලු කොටුව බ්‍රිතාන්‍යයන් අතට පත් වූයේ මේ කාලයේදීය. 1802 දී, ඇමියන්ස් (Amiens) ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස, ලන්දේසීන් ශ්‍රී ලංකාවේ ඔවුන් අල්ලාගෙන සිටි කොටස්වල පාලනය බ්‍රිතාන්‍ය පාලකයින්ට පවරා දෙන ලදී. කොළඹ බ්‍රිතාන්‍ය පාලකයින්ගේ ප්‍රධාන මූලස්ථානය වුව ද ගාලු කොටුව දිවයිනේ දකුණේ පරිපාලන මධ්‍යස්ථානයක් විය. බ්‍රිතාන්‍යයන් බලකොටුවෙහි ආරක්‍ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා යම් යම් වෙනස්කම් සිදු කරන ලදී.

බ්‍රිතාන්‍යයන් විසින් සිදු කරන ලද වෙනස් කිරීම් ඉතා අල්ප වූ බැවින්, ගාලු ලන්දේසි බලකොටුව තවමත් එහි මුල් සැලැස්මෙන් වැඩි කොටසක් රඳවා තබා ගෙන ඇත. එය දකුණු සහ අග්නිදිග ආසියාවේ යුරෝපීයයන් විසින් ඉදිකරන ලද බලකොටු සහිත නගරයක හොඳම උදාහරණවලින් එකක් ලෙස සලකනු ලබයි.
ඒ අනුව ඉංග්‍රීසීන්ගේ පාලන සමයේ ගාල්ල ක්‍රීඩාංගණය 1876 දී තුරඟ තරග සඳහා ඉදිකරන ලදී. 1892 දී එවකට ගාල්ල මහ නගර සභාවේ ලේකම්ව සිටි පී.ඒ. ටෙම්ප්ලර්ගේ යෝජනාවකට අනුව ප්‍රධාන ක්‍රීඩාගාරයක් ඉදිකරන තුරු ස්ථිර ක්‍රීඩා මණ්ඩපයක් තිබුණේ නැත. අවසානයේ තුරඟ තරගවලට වඩා ක්‍රිකට් තරග සඳහා මෙම ක්‍රීඩාංගනය භාවිත කරන්නට විය.

1888 මැයි මස සිට ‘ගාලු එස්ප්ලැනේඩ්’ (Galle Esplanade) ලෙසින් හඳුන්වන ලද මෙම ස්ථානයේ පළමු පාසල් ක්‍රිකට් තරඟය පැවතියේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ ගාල්ලේ සියලුම සාන්තුවරයන්ගේ විද්‍යාලය අතරය. රිච්මන්ඩ්-මහින්ද වාර්ෂික ක්‍රිකට් හමුව 1905 දී මෙම ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර එය වසර 100 කට වැඩි කාලයක් ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාවේ දීර්ඝතම පාසැල් ක්‍රිකට් තරඟාවලියයි. 1927 දී මෙම ක්‍රීඩාංගණය නිල වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

1984 පෙබරවාරි 29 වන දින මෙම ක්‍රීඩාංගණයෙහි ප්‍රථම පළමු පෙළ තරගය පැවැත්විණි. එවකට ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ලේකම්ව සිටි ධනපාල ලොරෙන්සු හේවාගේ මඟපෙන්වීම යටතේ 1945 දී තණතීරුවක් (turf wicket ) මෙම ක්‍රීඩාංගණයට හඳුන්වා දෙන ලදී. මේ සඳහා කොළඹ ක්‍රිකට් සමාජයේ සහයද ලබා ගත් බව සඳහන්ය. තවද ගාලු ක්‍රිකට් සමාජ මණ්ඩපය මීට පෙර ක්‍රීඩාංගනයේ ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපය වූ අතර 1955 සැප්තැම්බර් 18 වන දින එය විවෘත කරන ලදී. මෙය ඉදිකර ඇත්තේ ගාලු ක්‍රිකට් සමාජය විසින් සංවිධානය කරන ලද ලොතරැයියකින් එකතු කරන ලද මුදලින් වන අතර මෙම මණ්ඩපය ඉදිකිරීම සඳහා එවකට ගාල්ල ජිම්කානා සමාජයද විශාල දායකත්වයක් ලබා දුන් බවටද වාර්තා වී ඇත..
පසුව හෙක්ටයාර 4.216 ක වපසරියකින් යුක්ත මෙම ගාල්ල ක්‍රීඩාංගණය ජාත්‍යන්තර ක්‍රිකට් ප්‍රමිතීන්ට අනුව උසස් කරන ලද අතර ශ්‍රී ලංකාවේ හත්වන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය බවට පත් කළේය. ඒ අනුව පළමු ටෙස්ට් තරගය 1998 ජූනි 3 වන දින ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මෙම ක්‍රිකට් පිටියේදී පැවති අතර ශ්‍රී ලංකාවට ඉනිමක සහ ලකුණු 16 ක ජයක් හිමි විය. පළමු එක්දින තරගය 1998 ජූනි 25 වන දින ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිතව තිබුණද, ඊට පෙරදා රාත්‍රියේ හා එදින අලුයම ඇද හැලුණු අධික වර්ෂාවෙන් ක්‍රීඩාපිටිය ජලයෙන් යටවීම හේතුවෙන් තරගය අත්හැර දමන ලදී.

එහෙත් එතැන් සිට වසර 6ක් ගතවූ දිනය ගාල්ල ක්‍රීඩාංගණයේ පමණක් නොව මුළු ආසියාතිකරයේම ඉතිහාසය වෙනස් කළ දිනයක් විය. එනම් 2004 දෙසැම්බර් 26 වන දින ඇතිවූ සුනාමි ව්‍යසනය හේතුවෙන් මනරම් ගාලු ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන් වාගේ විනාශ විය. එහෙත් මෙම ක්‍රීඩාංගණය යළි යථා තත්වයට පත්කිරීමේ කටයුත්තේදී නැති ප්‍රශ්න ඇතිවෙන්නට පටන් ගත්තේය.
ප්‍රධාන වශයෙන්ම වෙරළ තීරයේ ඉදිකිරීම් සඳහා පනවා ඇති යම් යම් සීමා කිරීම් හේතුවෙන් මෙම ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා රජය විසින් නැවත සලකා බලා තිබුණි. ක්‍රීඩාංගණය වෙනත් ස්ථානයක ඉදිකිරීමටද යෝජනා ඉදිරිපත් කර තිබුණි.
මේ අතර ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයට සිදුවී විපත කණවැටුණ වහාම එංගලන්තයේ හිටපු ක්‍රිකට් නායක ඉයන් බොතම් සහ ඕස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් දෙදෙනා ගාල්ලට පැමිණියහ. ඔවුන් දෙදෙනාගේ ප්‍රධාන ඉල්ලීම වූයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණය තිබූ පරිදි ප්‍රතිසංස්කරණ කටයුතු කොට එම ස්ථානයේම ඉදිකළ යුතු බවයි. හේතුව ඔවුන් ඉක්මනින් දිව ආවේ සුනාමියෙන් විනාශ වූයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් නිසාම නොවේ. 19වැනි සියවස ආරම්භයේදීම ඔවුන්ගේ ඥාතීන් විසින් අත්පත් කර ගන්නා ලද උරුමයක් අභියස ක්‍රීඩංගණයක් විනාශයට පත්වූ නිසාය. අනෙක ගාල්ල ඔවුන්ගේ ආධිපත්‍යයක් ලෙස තිබූ ස්ථනයක් බව අද සිටින නොදන්නා අයටද ඒත්තු ගැනවීමටද වන්නට පුළුවන.
යම් දිනයක නුවරඑළිය රදැල්ල ක්‍රීඩාංගණයට සතුරු උවදුරක් පැමිණිය හොත් බ්‍රිතාන්‍යයේ සුදු මහත්වරුන් මෙහි දිවඑන්නට ඉඩ තිබේ. හේතුව ලන්දේසීන් පළවා හැර ඔවුන් යටතට ගාලු පුරවරය පත්වූවාට පසුව කාලයේ ගාල්ල වරායෙන් ගොඩ බසිනා බ්‍රිතාන්‍ය සුදු මහත්වරුන් නිවාඩු ගත කරන කාලය තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණේ මෙම ගාලු පිටිය යොදා ගනිමින් බවට ජනප්‍රවාදයේ සඳහන්ය. එසේම රදැල්ල ක්‍රීඩංගණයද එකල බ්‍රිතාන්‍ය පාලකයින් විසින් ඉදිකරන ලද බවද පැවැසේ.
කෙසේ වෙතත් අවසන් තීරණය වූයේ පවතින ක්‍රීඩාංගනයම ප්‍රතිසංස්කරණය කිරීමටයි. ප්‍රතිසංස්කරණය කිරීමේ වියදම ආසන්න වශයෙන් රුපියල් මිලියන 500ක් (රු. 500,000,000) බවට ඇස්තමේනුතු කිරීමෙන් අනතුරුව එංගලන්තයේ සරේ ප්‍රාන්ත ක්‍රිකට් සමාජයෙන් සැලැකිය යුතු සහයක් ලබා දීමත් සමඟ ජාත්‍යන්තර සහයෝගය ලැබිණි. මීට අමතරව, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ෂේන් වෝන් (ඕස්ට්‍රේලියාව) සහ ඉයන් බොතම් (එංගලන්තය) ද කැපී පෙනෙන මූල්‍ය දායකත්වයක්ද ලබා දුන් බව පැවැසේ.
ඒ අනුව ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය ප්‍රතිසංස්කරණය කිරීම 2006 මැයි 8 වන දින ආරම්භ විය. නව ක්‍රීඩා මණ්ඩපයක් සහ මාධ්‍ය මධ්‍යස්ථානයක් සමඟ නව ගොඩනැගිලි රාශියක් අදාළ ප්‍රතිසංස්කරණයන්ට ඇතුළත් විය. නරඹන්නන් සඳහා ආසන ධාරිතාව ද වැඩි කරන ලදී. ප්‍රතිසංස්කරණය කරන ලද ක්‍රීඩාංගණය 2007 දෙසැම්බර් 17 නැවත විවෘත කිරීමෙන් පසු එදිනම පළමු ටෙස්ට් තරගය පැවැත්වූයේද ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකාවට 1948 දී ගාලු ක්‍රීඩාංගනයේ අයිතිය ලබා දුන් එංගලන්තය අතර වීමද විශේෂත්වයකි.
2004 සුනාමියෙන් විනාශයට පත් වූ පසු නැවත ඉදිකිරීම් වලදී ගොඩනඟන ලද ආසන 500 ක ක්‍රීඩා මණ්ඩපය ඇතුළුව, ඒ අසල අනවසර ඉදිකිරීම් හේතුවෙන් ගාලු බලකොටුවට යුනෙස්කෝ ලෝක උරුම තත්ත්වය අහිමි වීමේ අවදානමක් පවතින බව එවකට මෙරට ආණ්ඩුව පාර්ශවයෙන් ප්‍රකාශ වුවද පසුව එම ගැටළු සමථයකට පත්විය.
මේ අතීත කතාවේ අත්දැකීම් වර්තමානයේ මෙරට ක්‍රිකට් කරවන පාලකයින් මෙන්ම ගාලු ක්‍රිකට් සමාජයේ වත්මන් පාලකයින්ද ආරෝපනය කරගන්නේ නම් දකුණට මෙන්ම උතුරටත් මුලු රටටත් යහපත් ක්‍රිකට් අනාගතයක් ගොඩනැඟිය හැකි වනු ඇතැයි මෙම ලියුම්කරුගේ විශ්වාසයයි. එබැවින් ලෝක උරුමයක් ස්පර්ශ කරගෙන සිටිනා මෙම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය යොදා ගනිමින් ක්‍රිකට්-සංචාරක ව්‍යාපාර සංකල්පය ප්‍රවර්ධනය කළහොත් ගාල්ල මෙරට තුළ තවත් ආර්ථික මරමස්ථානයක් වනු ඇත. කෙසේ වෙතත් මෙම සංකල්පය බලගැන්වීමට ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා සමාජය දැනටමත් සැළැසුම් ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇති අතර අද රට පත්වී ඇති තත්වය දෙස බලන විට එය ඔබටත් අපටත් සුභ ආරංචියකි.

සිරිනාම රාජපක්ෂ