තරග පාවාදීමේ වරදට අයි.සී.සී.ය විසින් නුවන් සොයිසා වැරදිකරු කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු මෙන්ම වේග පන්දු යැවීමේ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ නුවන් සොයිසා තරග පාවාදීමේ වරදට වැරදිකරු වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දැනුම් දී තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් විසින් කරන ලද නඩු විභාගයකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති නමුත් අදාළ සම්බාධක පැනවීම පසුව තීරණය කරන බවට අසි.සී.සීය සඳහන් කර තිබේ.
අයි.සී.සීය විසින් කරුණු 3ක් ඔස්සේ නුවන් සොයිසා වැරදි කරු බවට ප්‍රකාශ කොට ඇති අතර අදාළ සිද්ධිය කුමක්ද යන්න මෙතෙක් පැහැදිළිව අනාරවණය කර නොමැත. කෙසේ වෙතත් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති සංග්‍රහයේ 2.1.1 වගන්තිය ප්‍රකාරව තරගයක ප්‍රතිඵලය වෙනස් කිරීමට සැළසුම් කිරීමට හෝ වෙනත් ආකාරයකින් බලපෑම් කිරීමට උත්සාහ කිරීම හෝ එකඟතාව පළ කිරීම, 2.1.4 වගන්ති ප්‍රකාරව 2.1 වැනි වගන්තිය උල්ලංඝණය කිරීම සඳහා සහභාගි වන්නේකුට සෘජුව හෝ වක්‍රාකාරව උපදේස් දීම, පෙළඹවීම, ඒත්තු ගැන්වීම, උපදෙස් දීම සහ හිතාමතාම පහසුකම් සැපයීම යන චෝදනා යටතේ සහ 2.4.4 වගන්ති ප්‍රකාරව දූෂිත හැසිරීම්වල යෙදීමට ලැබුණු ආරාධනාවක් හෝ තොරතුරක් වසන් කිරීම යන වගන්ත උල්ලංඝණය කිරීම යන චෝදනා මත නුවන් සොයිසා වැරදි කරුවී තිබේ.
මීට අමතරව 2017 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති ටී 10 තරගාවලියේදීද දූෂණ විරෝධී නීති සංග්‍රහයේ වගන්ති කිහිපයක් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන්ද සොයිසාට එරෙහිව විමර්ශන කටයුතු සිදුවෙමින් පවතී. මීට අමතරව අදාළ තරගාවලියේදී අයි.සී.සීය දූෂණ විමර්ශන ඒකකය විසින් දිල්හාර ලොකුහෙට්ටිගේට සහ ශ්‍රී ලංකා ‘ඒ’ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධනටද චෝදනා කරමින් පරික්ෂණ සිදුකරනු ලබයි. එහිදී ලබන 27 වැනිදා දිල්හාර ලොකුහෙට්ටිගේගේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වේ. නමුත් අවිශ්ක ගුණවර්ධනගේ තීන්දුව අවුරුද්දයි මාස 6කට කල්ගත වී තිබුණත් මෙතෙක් අයි.සී.සීය විසින් මේ සම්බන්ධයෙන් පරික්ෂණ අවසන් කර නොමැතිවීම කනගාටුවට කරුණකි. අවිශ්ක ගුණවර්ධනට එල්ලවී ඇති චෝදනාව වන්නේ රමිත රඹුක්වැල්ල විසින් යම්කිසි දුරකතන සංවාදයක් කළ අසළක රැඳී සිටීම බවට අයි.සී.සී දූෂණ විමර්ශන ඒකකයට කළ පැමිණිල්ලයි.