අයිඩියල් මෝටර්ස් වෙතින් මධුර විතාන පදනමට මහින්ද්‍රා ගිලන් රථයක්

අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම විසින් රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් මහින්ද්‍රා ගිලන් රථයක් මධුර විතාන පදනම වෙත පරිත්‍යාග කරනු ලැබීය.

කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60ට වැඩි සහ ආබාධිත, ඔත්පල වූ අය සඳහා අවශ්‍ය එන්නත් ලබාදීමේ කටයුතු මූලික අරමුණ කරගනිමින් මෙම ගිලන් රථය පරිත්‍යාග පරිත්‍යාග කෙරිණි.

අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතාගේ ජන්ම දිනය හා ව්‍යාපාර සමූහයේ සමාරම්දිභක දිනය යෙදෙන සැප්තැම්බර් 5 මූලික අරමුණ කරගනිමින් covid 19 වෛරසය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය සේවා කඩිනමින් ලබා දීමේ අරමුණින් මෙම ගිලන් රථය පරිත්‍යාග කරන ලදී.

සිය ආයතනික සමාජ සේවා මැනවින් හඳුනාගෙන ඇති අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම මීට පෙරද covid-19 වෛරසය ව්‍යාප්තිය ආරම්භ වූ 2020 වර්ෂයේ දී ද සමාජ සුභ සාධන සේවා කීපයක්ම ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ අනුව පසුගිය වසරේ මාර්තු මාසයේ covid 19 වෛරසයේ ආරම්භක අදියරේ දී මුල්ලේරියාව මූලික රෝහලට කඩිනමින් අවශ්‍ය කර තිබූ රෙදි සෝදන යන්ත්‍ර හා කසල බදුන් පරිත්‍යාගයක් ව්‍යාපාර සමූහයේ සභාපති නලීන් වෙල්ගම මහතාගේ මුලිකත්වයෙන් සිදුකෙරිනි.

ඊට අමතරව එම වසරේම ජූනි මාසයේදී කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට අත්‍යවශ්‍යව තිබූ හෘද රෝගීන්ගේ දත්ත ගබඩා කිරීමට අවශ්‍ය ලැප්ටොප් පරිගණක හයක පරිත්යාගයක්ද නලීන් වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් ලබා දෙන ලදී.

එමෙන්ම සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය පුද්ගලික ආරක්ෂණ ඇඳුම් හා උපාංග තොගයක්ද ගංගාරාම විහාරස්ථානයේදී නලීන් වෙල්ගම මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කෙරිණි.

මීට අමතරව අයිඩියල් මෝටර්ස් විසින් ක්‍රියාත්මක කළ සමාජ සුබසාධන ව්‍යාපෘති අතර පානීය ජල අවශ්‍යතාවය පීඩා විඳි නාමල්පුර ප්‍රදේශයේ පවුල් එක්දහස් පන්සියයක් සඳහා පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම, නොච්චියාගම, තල්ගස්වැව විද්‍යාරවින්විද දුහලේ පාසල් දරුවන්ට අවශ්‍ය සියලුම පොත් පත්, බෑග්, පාවහන් හා පාසලට පානීය ජලය ලබාදීම, කෙවිටියාගල, දියපත්තුගම විහාරස්ථානය බෝමළුව ඉදිකර බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පූජා කිරීම, දියපත්තුගම එස්. ඒ. වෙල්ගම ප්‍රාථමික විදුහලට අවශ්‍ය පරිගණක ලබාදීම, කතරගම දේවාලයට සහ අනුරාධපුර අටමස්ථානාධිපති හිමි වෙත මහින්ද්‍රා ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථ පරිත්‍යාග කිරීම ඒ අතර වේ.

අයිඩියල් මෝටර්ස් වෙතින් ක්‍රියාත්මක කරන ලද මෙම සියළුම සමාජ සුබසාධන ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි තුනකට අධික මුදලක් වැය කර තිබේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලින් වෙල්ගම ඹහතා, අද දින අපගේ අයිඩියල් ව්‍යාපාර සමූහයට ඉතාමත් ප්‍රීතිමත් දිනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. අප සමාගමේ සමාරම්භක දිනයේ යෙදී තිබෙන්නේ සැප්තැම්බර පස්වැනිදාට. අපි සමාගමක් ලෙස විශාල සමාජ සත්කාර වසර ගණනාවක සිට සිදුකරගෙන යනවා. මේ වැඩසටහන් සඳහා අපි විශාල වශයෙන් ප්‍රචාරක කටයුතු කළේ නැහැ. නමුත් මේ කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ දෙයක් නොවේ, ලෝකයේම තිබෙන මේ ව්‍යසනය නිසා මම හිතුවා අපි වගේ ව්‍යාපාරිකයෝ ඉදිරියට ඇවිත් යම් කිසි දෙයක් අපේ රට වෙනුවෙන් කරන්න ඕනි කියලා. අනිත් ව්‍යාපාරිකයන්ගෙන් හා ව්‍යවසායකයන්ගෙන් මම ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ, අපි ඔක්කොම වෙනස්කම් අයින් කරලා, හැමතිස්සෙම රජයට දොස් පවරන්නේ නැතුව, අපෙනුත් කළ යුතු දෙයක් තියෙනවා, අපේ රට වෙනුවෙන්, අපි මවුබිමට ආදරෙයි, මේ වෙලාවේ ඉදිරියට ඇවිත් මෙවැනි කටයුතු සඳහා අද දෙන්න ඕනේ. අපි දන්නවා මේ කොරෝනා ව්‍යසනය නිසා කාර්තු දෙක තුනකට ඉතා විශාල ලාභයක් ලබා ගත්ත ආයතන තියෙනවා. මෙවැනි අවස්ථාවක ඉදිරියට ඇවිත් රට වෙනුවෙන් තමන්ගේ යුතුකම් කරන්න කියන ඉල්ලීම මම මේ වෙලාවේ කරන්න කැමති යැයි කියා සිටියේය.

මේ පිළිබඳව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා, අයිඩියල් මෝටර්ස් සමාගමෙන් විතාන පදනමට ගිලන් රථයක් ලබා දීම පිළිබඳව එම ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතාට ස්තූතිවන්ත වෙනවා. පවත්නා කොරෝනා වසංගතය හමුවේ අපේ රටට ගිලන්රථ වල විශාල හිඟයක් පවතිනවා. මෙම ගිලන් රථය මගින් කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාල, පළාත් පාලන ආයතන හා පොලිසිය සම්බන්ධීකරණය කරගෙන අවුරුදු 60ට වැඩි නිවෙස්වල ඔත්පල ව සිටින අය වෙනුවෙන් එන්නත්කරණය ලබා දීමට බලාපොරොත්තු වෙනවා. එමෙන්ම කොරෝනා වසංගතය සමඟම මේ වන විට ඩෙංගු වසංගතයත් හිස ඔසවා තිබෙනවා. ඒ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාල සමඟ සම්බන්ධීකරණය කරමින් ඩෙංගු රෝගීන් වෙනුවෙන් ද, ඇක්ටින් පරීක්ෂාව, පීසීආර් පරීක්ෂාව වෙනුවෙන් මෙම ගිලන් රථය භාවිතා කිරීමට කටයුතු කරනවා. මේ රථය සම්බන්ධීකරණය කිරීමේ පළමු අදියර ලෙස එන්නත්කරණය කිරීමට අවශ්‍ය කටයුතු කෝට්ටේ මහා නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී තුමා ප්‍රමුඛ සෞඛ්‍ය අංශ විසින් දැනටමත් සැලසුම් කර තිබෙනවා. නලීන් වෙල්ගම මහතාටත් අයිඩියල් මෝටර්ස් සමාගමටත් මම විශේෂයෙන් ස්තුති වෙනවා සමාගම්වල ලාභ අරමුනු කර ගන්නැතුව සමාගමක් ගෝලීය වසංගතය තුළ සමාජ සත්කාර කටයුතු වෙනුවෙන් ඉදිරියට පැමිණීම පිළිබඳව.

ජායාරූපය
අයිඩියල් ව්‍යාපාර සමූහය නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා මහින්ද්‍රා ගිලන් රථය ප්‍රධානය කරන අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

එම අවස්ථාවට එක්වූ (ජයරූපයේ වමේ සිට) කෝට්ටේ මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු වන ඩෙන්සිල් ගමගේ, නීෂා වසන්ති, අයිඩියල් මෝටර්ස් අලෙවි ප්‍රධානී ඩිල්ෂාන් තෙන්නකෝන්, අයිඩියල් ෆස්ට් චොයිස් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලහිරු සිල්වා, අයිඩියල් මෝටර් නිශ්පාදන ප්‍රවර්ධන කළමණාකරු සාරංග පරණහේවා යන මහත්ම මහත්මීන්ද ඡායාරූපයේ වෙති.