රෙදි ගැලැවුණු ඔලිම්පික් ලොක්කන් ටෝකියෝහිදී  ඇමැති නාමල්ටත් වෙට්ටුවක් දමයි

එන්.ඕ.සී ලණු කන අයි.ඕ.සී. කොට්ටෝරුවා මෙවර කෙටුවේ කෙසෙල් ගහකටද?

තවත් ගිම්හාන ඔලිම්පික් උළෙලක් පසුගියදා ජපානයේ ටෝකියෝ නුවරදී නිමාවට පත්වූයේ නොකඩවා 3වැනි වතාවටත් අමෙරිකානුවන් විසින් කිරුළ හිමිකර ගැනීමත් සමඟය. මුළු ලොවම වසාගත් කොරෝනා වසංගත තත්වය හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉහළම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වූ රටක් ලෙස පවතිද්දී ඔවුන්ගේ ක්‍රීඩාවේ ඇති ප්‍රතිශක්තිකරණය තවදුරටත් එලෙසම පවත්වා ගන්නා ආකාරය කාහටත් ආදර්ශමත් කටයුත්තකි. තවද කොවිඩ් ව්‍යසනය පැත්තෙන් ඇමෙරිකාවට පමණක් දෙවැනි වන ඉන්දියාවද අසල්වැසි අපිට පාඩම් රැසක් කියා දුන්නේ ඔවුන්ගේ වසර 120ක ඔලිම්පික් ඉතිහාසයේ ප්‍රථම මලල ක්‍රීඩා රන් පදක්කමද දිනා ගනිමිනි.

එහෙත් අපේ රටින් මෙවර ඔලිම්පික් උළෙලට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනාට කෙසේ වෙතත් අවශේෂ නිලධාරීන් ගොන්නේ සිටිනා පුහුණුකරුවන් හැර අන් අයට නම් මෙම ආදර්ශමත් කතාන්දර හා පාඩම් විහිළුවක් සේ පෙනෙන්ට පුළුවන. හේතුව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ (එන්.ඕ.සී.) මහත්වරුන්ට හා ඔවුන්ට ආවඩන මහත්වරුන්ටත් ටොකියෝ ඔලිම්පික් ගමන තවත් වන්දනා ගමනක් පමණක් වන නිසාය. එසේ පැවැසීමට සිදුව ඇත්තේ ප්‍රතිඵල කෙසේ වෙතත් තම රට නියෝජනය කරනා පරිදි ක්‍රීඩක නිල ඇඳුමක්වත් හරි හැටි සකස් කරගන්නටවත් ඔවුන්ට උනන්දුවක් නොමැති නිසාය. කොළඹ -7 ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යංශයටද යාබදව පිහිටා ඇති එන්.ඕ.සී. ප්‍රධාන කාර්යාලය හඳුන්වන්නේ ”ඔලිම්පික් නිවහන” යන නාමයෙනි. ඒ නමට අනුවම යමින් සමහර පුද්ගලයින් එන්.ඕ.සී. ප්‍රධාන කාර්යාලය සැබැවින්ම තමන්ගේම නිවහනක් සේ සළකා කටයුතු කරන බවක් පෙනේ.

ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ මලල ක්‍රීඩාවෙන් ඉන්දියාව දිනාගත් ප්‍රථම රන් පදක්කම මීටර් 87.58ක් දුර හෙල්ල විසිකරමින් නීරාජ් චොප්රා විසින් පසුගිය සෙනසුරාදා (7දා) සවස ‍ටෝකියෝ ජාතික ක්‍රීඩාංගණයේදී අත්කර ගන්නා විට එදා මීට දශක දෙකකට පෙර ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාව මෙදා හිස් අතින්ම ගෙදර ආවේය. 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේදී දී ශ්‍රී ලංකාව ක්‍රීඩා 4 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනෙකු සහභාගී වී රිදී පදක්කමක් දිනා ගනිමින් 64 වැනි ස්ථානයට පත්වූ අතර එදා ඉන්දියාව ක්‍රීඩා 13ක් සඳහා 65 දෙනෙකු ඉදිරිපත් කොට ලෝකඩ පදක්කමක් පමණක් දිනා 71 වැනි ස්ථානයට පත්විය. තවද මීට වසර 21කට පෙර සුසන්තිකා මීටර් 200 ඉසව්වෙන් දිනා ගත් රිදී පදක්කමට අමතරව ශ්‍රී ලංකාව තරග වැදුණ මලල ක්‍රීඩා ඉසව් 9කින් මීටර් 400 හා මීටර් 4×400 ඇතුළු ඉසව් 6කින්ම දෙවැනි වටයට සුදුසුකම් ලැබූ අතර එවර බරඉසිලීමෙන් පමණක් ඉන්දියාව ලෝකඩ පදක්කම දිනා ගත්තද මෙවර සමස්ථ පදක්කම් 7ක් (රන්1යි, රිදී 2යි, ලෝකඩ 4යි) දිනා රටවල් 205ක් අතරින් 48 වැනි ස්ථානයට පත්විය.

1948 සිට 18ත් වතාවක් ඔලිම්පික් උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකාව (ජනගහණය මිලියන 21.5 යි) අද බිංදුවට බැස ඇතත් 1996 සිට මේ දක්වා ඔලිම්පික් වාර 7ක් පමණක් නියෝජනය කළ අඩු ජනගහණයක් වෙසෙන රටවල් වන ආමේනියාව (ජනගහණය මිලියන 3යි) පදක්කම් 4ක්(රිදී 2, ලෝකඩ 2), කිරිගිස්තානය (ජනගහණය මිලියන 6.6 යි) පදක්කම් 3ක් (රිදී 2, ලෝකඩ 1), උතුරු මැසිඩෝනියාව (ජනගහණය මිලියන 2.1 යි) පදක්කම් 1ක් (රිදී 1), ටර්ක්මෙනිස්ථානය (ජනගහණය මිලියන 6.1 යි) පදක්කම් 1ක් (රිදී 1) හා අසර්බයිජාන් රාජ්‍යය (ජනගහණය මිලියන 10.2 යි) පදක්කම් 7ක් (රිදී 3,ලෝකඩ 4) ටොකියෝ ඔලිම්පික් උළෙලේ පදක්කම් දිනාගත් රටවල් 94 අතරට ඇතුළත් වීමද විශේෂත්වයකි. තවද 1972 සිට ඔලිම්පික් ගමන ආරම්භ කළ ශ්‍රී ලංකාවට සමාන ජනගහණයක් සිටින බර්කිනා ෆාසෝ රාජ්‍යයද මෙවර එක් ලෝකඩ පදක්කමක් දිනා ගත් අතර ජනගහණය 34000 කට පමණක් සීමාවූ කුඩා රටක් ලෙස සැන් මෙරිනෝ රාජ්‍යයද 1960 සිට මේ දක්වා පැමිණි ගමන ටෝකියෝ නුවරදී තම ධජය 3 වරක් ඔසවා සමරන ලද්දේ එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ගත් බැවිනි. එසේම මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ටර්ක්මෙනිස්ථානය, සැන් මෙරිනෝ හා බර්කිනා ෆාසෝ යන කුඩා රටවල් තුනම තම ඔලිම්පික් ඉතිහාසයේ පළමු පදක්කම මෙවර වාර්තා කිරීමයි.

එවන් කුඩා රටවල් පවා හිස ඔසවද්දී මෙවන් දරුණු පසුබෑමකට ශ්‍රී ලංකාව පත්වීමට පාදක වූයේ මීට දශක 2ක පමණ පෙර සිට සිදුවේගෙන යන ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ කඩාවැටීමයි. ඊට හොඳම සහ ආසන්නතම උදාහරණය මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලෙන්ම සපයයි. එනම් ශ්‍රී ලංකාවට වඩා වසර 48කට පෙර මංගල ඔලිම්පික් සහභාගීත්වය ලැබූ ඉන්දියාවට මලල ක්‍රීඩාවෙන් ප්‍රථම ඔලිම්පික් පදක්කම දිනා ගැනීමට වසර 120 ක් බලා සිටීමට සිදුවුවත් ශ්‍රී ලංකාව රටක් ලෙස තම මංගල ඔලිම්පික් ගමනේදීම ප්‍රථම මලල ක්‍රීඩා පදක්කම 1948දී දිනා ගත්තේ ඩන්කන් වයිට් මීටර් 400 පිරිමි කඩුලු ඉසව්වෙන් රිදී පදක්කම දිනාගැනීමත් සමඟය. 90 දශකයේ අග භාගය වන විට මෙරට මලල ක්‍රීඩා දක්ෂතාවන් නිසාම ආසියානු රටවල් 45ක් අතර 15වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව අද වන විට 43වැනි ස්ථානය දක්වා පල්ලම් බැස ඇත. අවසන් ආසියානු ක්‍රීඩා උළෙල අවස්ථා තුනේදීම (2010,2014 හා 2018) ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නැවත ගෙදර ආවේ හිස් අතින්මය.

වසර 4 කට වරක් පැවැත්වෙන ඡන්දයකින් පසුව මෙරට ජාතික ඔලිම්පික් කමිටුවේ මහ පුටු වලට පත්වෙන පාලකයින් කලක සිට කටයුතු කරන්නේ රටේ ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් නොව තමන්ගේ මතය දියුණු කරමින් තමන්ගේ සහ තමන්ට ඡන්දය දුන් පිරිසකගේ පැවැත්ම සඳහාය. 90 දශකයේ අග භාගයේ සිට එන්.ඕ.සී. යට මෙම රෝගය වැළැඳී තිබෙන අතර මීට වසර තුනකට පමණ පෙර හේමසිරි ප්‍රනාන්දුගේ අත තිබුණ එන්.ඕ.සී. සභාපති යෂ්ඨිය අතට ගත් සුරේෂ් සුභ්‍රමනියම්ටද එම රෝග කාරකය තදින්ම වැළැඳී ඇති බවට මෙවර ටොකියෝ වන්දනා ගමනේදී සිදුවූ බොහෝ දේවලින් පැහැදිළිය.

තවත් විදියකින් කිවහොත් මීට වසර 12ක පමණ පෙර සිට එන්.ඕ.සී. යේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරන මැක්ස්වෙල් ද සිල්වාගේ තිර රචනයට අනුව මෙවර ටෝකියෝ සංචාරයත් සභාපති සුභ්‍රමනියම් විසින් අධ්‍යක්ෂණය කරන්නට ඇතැයි සිතෙන්නේ 2016 දී රියෝ ඔලිම්පික් වන්දනාවේදී සිදුවීම් වලට සමාන බොහෝ දේ මෙවරත් සිදුවූ නිසාය. ඉන් එක් උදාහරණයක් බැගින් කිවහොත් 2016 දී හේමසිරි-මැක්ස්වෙල් එන්.ඕ.සී. රජකට්ටුව විසින් රජයේම ලේක් හවුස් ආයතනයේ මාධ්‍යවේදියෙකු රියෝ ඔලිම්පික් වෙත කැන්දාගෙන ගියේ පිහිණුම් පුහුණුකරුවෙකු ලෙස ව්‍යජ හැඳුනුම්පතක් සකස්කර දීමෙනි. වංචා සහගත ගණුදෙනු වලට වැරැදිකරුවෙකු බවට සනාථ වී ඇති ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ හිටපු සභාපති වරයෙකු ජපානයට කලින්ම පන්නවා සම්භාහකයෙකු ලෙස හැඳුනුම්පතක් සාදවා මෙවර ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ටෝකියෝ හිදී සම්බන්ධ කළේ සුබ්‍රමනියම්-මැක්ස්වෙල් එන්.ඕ.සී. රජ කට්ටුවේ අනුග්‍රහයෙනි.

එහෙත් මෙවර කරන ලද එම වංචා සහගත ක්‍රියාව තුළ වැරැදි කිහිපයක්ම අඩංගුය. එම සම්භාහක ලෙස හැඳින්වූ පුද්ගලයාට ජපානයට යාමට වීසා ලබා ගැනීමේදී ව්‍යාජ ලියකියවිළි සෑදීම, තහනම් කරන ලද ක්‍රීඩා සංගමයක නිලධාරියෙක් නම් කිරීම හා ව්‍යාජ ඔලිම්පික් හැඳුනුම්පතක් සකස්කිරීම යන සියලු වැරැදි වලට වත්මන් එන්.ඕ.සී. ය වගකිව යුතුය. තවද මෙවර ඔලිම්පික් ගිය වෙඩිතැබීමේ ක්‍රීඩිකාවට තම පුහුණුකරු අහිමිකර කලමණාකරුවකු සමඟ යාමට කටයුතු කළේද එම ක්‍රීඩිකාවගේ ඉල්ලීමට වඩා තම හිතවතෙකුට කරන උදව්ව ලොකු වූ නිසාය. මෙවන් සියලුම බාල වර්ගයේ වැඩ කරන්නේ තවත් මාස කිහිපයකින් එන ඊළඟ ඔලිම්පික් නිලවරණයට ඡන්ද බලාගෙනය.

ක්‍රීඩාව කරවන අය පිළිබඳව මොවුන්ගේ ආකල්පය මෙවන් අයහපත් මට්ටමක පවතිද්දී ජාත්‍යන්තරයට රැගෙන යන ක්‍රීඩාව කරන අය ගැනද තීරණ ගන්නේ ඔවුන්ගේ වැඩ බලා නොව හැඩ බලාය. මෙවර ඔලිම්පික් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයින් නව දෙනාගෙන් හය දෙනෙකුම සහනදායී පදනම එම අවස්ථාව උදාකර ගත් අය වන අතර එම සහනදායී අවස්ථා සඳහාද ක්‍රීඩකයින් තෝරා ගත්තේ ඔලිම්පික් ලොක්කන්ට මීළඟ නිලවරණයේදී ලැබෙන වාසියේ හැඩය බලාය. ඔලිම්පික් මට්ටමෙන් කිසිදු ආකාරයක ප්‍රගතියක් නොදැක්වන බැඩ්මින්ටන් ක්‍රීඩක නිලුක කරුණාරත්න මෙවර නොකඩවා තුන්වැනි වතාවටත් ඔලිම්පික් යන්නට මෙතෙක් වියදම් කළ මුදල් කන්දරාව මෙරට මලල ක්‍රීඩකයින්ට වියදම් කළේ නම් අවම වශයෙන් ලෝකඩ පදක්කමක් හෝ ලංකාවට දිනා ගැනීමට හැකි බව නොඅනුමානය.

එහෙත් ඔලිම්පික් ලොක්කන්ගේ උවමනාව වන්නේ මලල ක්‍රීඩා සංගමය සමඟ එක්ව ඉතිහායයේ අපිට පදක්කම් ගෙන දුන් මීටර් 4×400 සහාය දිවීම වැනි ඉසව් යළි ඔසවා තබන්නට කටයුතු කිරීම නොව තමන්ගේ පැවැත්මට වාසි වන කෙනෙකුට උදව් කිරීමය. එනිසා එංගලන්තයේ වෙසෙනා තම බාල සොහොයුරා වුවද තම පුහුණුකරුවා කරගෙන ඔලිම්පික් යන්නට නිලූකට අවස්ථව ලබා දුන්නේ ඔහු සභාපතිත්වය දරණ “ ඔලිම්පික් ගිය ක්‍රීඩකයින්ගේ සංගමයේ“ ඡන්ද දෙකම මීළඟ නිලවරණයේදීත් ලබා ගැනීමේ අරමුණින්ය. ටෝකියෝ ගිය ජූඩෝ ක්‍රීඩකයාට අදාළ කතාව මීටත් වඩා අමිහිරිය. මොන ක්‍රමයකින් හෝ ඔලිම්පික් සඳහා තෝරාගන්නා ක්‍රීඩකයා ජයග්‍රහණය කෙසේ වෙතත් තම පෞද්ගලික උපරිම දක්ෂතාවට වත් ළඟා විය යුතුය. නමුත් අපේ අය රටට ඉතිරි කළේ ලැජ්ජා සහගත කතන්දර ටිකක් පමණි. තවද එන්.ඕ.සී. ය නොහොත් ශ්‍රී ලංකා ඔලිම්පික් සංචාරක කමිටුවේ ප්‍රධාන රාජකාරිය වී ඇත්තේ මෙරට සිටින ක්‍රීඩාවේ දක්ෂයින්ට ඉහළට එන්නට අතදීම නොව මෙවර කලාක් මෙන් ප්‍රසිද්ධ චරිත ටිකක් කොහෙන් හෝ ආනයනය කොට ජාත්‍යන්තර තරග වලට රැගෙන යාමයි.

කෙසේ වෙතත් ජාතික ඔලිම්පික් කමිටු බලධාරීන් මේසා විශාල ජාතික හා ජාත්‍යන්තර මට්ටමෙන් අකටයුතුකම් වල නියැලෙද්දී සමස්ථ රටේ ක්‍රීඩාවේ සර්වබලධාරී ආයතනය වන ක්‍රීඩා අමාත්‍යංශය මෙවන් ප්‍රශ්න ගැන එන්.ඕ.සී. යෙන් විපරම් කරනා විට “ මෙන්න ක්‍රීඩා ඇමැතිවරයා අපේ වැඩවලට ඇඟිලි ගසනවා“ යැයි දිවගොස් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව (අයි.ඕ.සී.) ට කේළාම් කීම පුරුද්දක් කරගෙන ඇත. ශ්‍රී ලංකාව තුළ තමන් ස්වාධීන ආයතනයක් යැයි ආරූඩ කරගත් රඟපෑමක යෙදෙනා එන්.ඕ.සී. බලධාරීන් හැමදාමත් කළේ බලයට පත්වන සෑම ක්‍රීඩා ඇමැතිවරයෙක්ම බොරුවෙන් අන්දවා තමනුත් ඇඳගැනීමය. අපේ කාලයේ පත්වූ නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමැතිවරයා තෙක්ම එන්.ඕ.සී. ය විසින් මෙම තියරිය ක්‍රියාත්මක කළ අතර බොහෝ දුරකට එවන් උගුලකට හසු නොවී එන්.ඕ.සී. පදයට නැටුවේ නැත්තේ මහින්දානන්ද ක්‍රීඩා අමාත්‍යවරයා පමණි. ඔහු මෙම එන්.ඕ.සී. නාඩගම් වලට හරස් වූ අතර මෙරට කේළාම් අසා ගොරවන්නට ආ අයි.ඕ.සී. ලොක්කන්ටද යටත් නොවීය.

එසේ මෙරට එන්.ඕ.සී. කෙරුවාව ගැන සොයන්නට යන ක්‍රීඩා ඇමැතිවරුන් අයි.ඕ.සී. ය ඉදිරියේ චූදිතයකු සේ පෙන්වමින් බයගන්වන්නට කරගෙන යන ක්‍රියාවලියේ තවත් පියවරක් ලෙස නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙවර ඔලිම්පික් උළෙල ‍වෙනුවෙන් ජපානයට ගිය මෙහොතේ රඟදක්වන්නට එන්.ඕ.සී. ලොක්කන් සැළැසුම් කොට තිබූ බවද පැවැසේ. එහෙත් දැනගන්නට ඇති පරිදි එම විශේෂ හමුවේදී අයි.ඕ.සී. ලොක්කන්ගේ සුපුරුදු වෙට්ටු මඟහරිමින් නාමල් ඇමැතිවරයා ඔවුන් අභිබවා උණුසුම් ප්‍රතිචාර ලබා දී ඇත. ඒ අනුව නාමල් ඇමැතිවරයාත් අන්දාගෙන තමන්ගේ සුපුරුදු කෙරුවාවල් ඉදිරියටම කරගෙන යන්නට එන්.ඕ.සී. ය යම් උත්සාහයක් දැරුවේ නම් එයද ටොකියෝ “අයි.ඕ.සී.- නාමල් “ විශේෂ හමුවෙන් පසුව දියවෙන්නට පටන් ගෙන ඇතැයි සිතිය හැකි අතර අයි.ඕ.සී. ය නම් කොට්ටෝරුවා මෙදා කෙටුවේ කෙසෙල් ගසකට දැයි සැකයක් මතුවේ.

කෙසේ වෙතත් ”අපි ස්වාධීන ආයතනයක් ” යැයි හැමදාමත් උඩ පනින මෙරට එන්.ඕ.සී. ලොක්කන්ට මෙරට තුළ සම්මත 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ (1973 ජුලි මස 09 දින නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව) 2වැනි ඡෙදයේ (ඇ) වගන්තිය (පහත අමුණා ඇත.) ක්‍රීඩා ඇමැතිවරයා විසින් සිහිපත් කළ යුතුය. ඔය කියන ස්වාධීනත්වයක් ඔවුන්ට ඇත්නම් ජාත්‍යන්තර තරග සංචාරයකදී ක්‍රීඩා අමාත්‍යංශයෙන් මුදල් ප්‍රතිපාදන ඉල්ලා සිටින්නේත් ඊට අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහාත් සංචාරය සඳහාත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය අවශ්‍ය වන්නේත් ඇයි ?. ඒ නිසා රටේ නීතියට අනුව රටේ ක්‍රීඩාව පවත්වාගැනීමේ හා දියුණු කිරීමේ බලය ක්‍රීඩා ඇමැතිවරයාට හිමි වන අතර රට සවාරි පමණක් ගැන හිතන මෙවන් ජාතික ඔලිම්පික් කමිටුවක් නොමැති වුවද රටට ඇති පාඩුවක් නොමැති බව නම් දැන් අපිට නම් තේරුම් ගොස් ඇත. කෙසේ වෙතත් මේ ක්‍රමය වෙනස් කරන්නට නම් මෙසේ පත්වන පාලකයින් ගැන ක්‍රීඩා අමාත්‍යවරයා හා ඔහුට උපදෙස් දෙන ජාතික ක්‍රීඩා සභාවද නිසි අවබෝධයකින් කටයුතු කළ යුතුය. නමුත් ප්‍රශ්නය වන්නේ වත්මන් ජාතික ක්‍රීඩා සභා‍වේ සභාපති මහේල ජයවර්ධනට දෙස් විදෙස් ක්‍රිකට් හැරුණ විට මෙරට වෙනත් ක්‍රීඩා ගැන බලන්නට වේලාවක් ඉතිරිව ඇද්ද යන්නයි.

අඩු රටවල් ගණනකට සීමාවන ක්‍රිකට් ක්‍රීඩාවේ එක් රටක් සමඟ පැවැත්වෙන තරගයකදී පවා ලංකාවට පිට පිට දෙවතාවක් පරාජයන් අත්වන විට පොල්ල අතට ගෙන බෙරිහන් දෙන ඇත්තන් අපේ රට හදන තැන ඇත. එහෙත් එවන් ක්‍රිකට් පරාජයකට ලේ පුච්චාගන්නා අය මෙවන් රටවල් 205කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට 18වැනි වතාවටත් සහභාගී වී හිස් අතින් එන විට ශ්‍රී ලංකාවේ පරාජයන් ගැන කිසිදු සද්දයක් නොදමන්නේ එතුමන්ලාට ඔලිම්පික් ගැන අවබෝධයක් නැති නිසා වන්නට හෝ රට තුළ ජනප්‍රිය නොවන දෙයක් ගැන කතාකිරීමෙන් ඇති දේශපාලන වාසියක් නැති නිසා හෝ මේ ‍හේතු දෙකම නිසා වන්නට පුළුවන. නමුත් අපේ මහජන නියෝජිතයින්ටද සිහිපත් කළ යුතු කාරණාවක් වන්නේ ලෝකය ඉදිරියේ රටක් ඔසවා තබන්නට වැඩිම අවස්ථා ගණනක් උදා වන්නේ ක්‍රීඩාව නම් විෂයට අදාළව බවයි. ක්‍රීඩාව යනු තාක්ෂණයද මුසුවූ එතරම්ම බලසම්පන්න මෙවලමකි.

එනිසා ක්‍රීඩාව සංස්කෘතියක් කරගත් රටක් ආර්ථික වශයෙන්ද පෙහොසත්ය. සෑම රටකම පළකරන පත්තරයක පවා ක්‍රීඩාවට පිටු 1 සිට 3ක් දක්වා සාම්ප්‍රදායික ලෙස වෙන්කර ඇත්තේ එදා සිටි ඇත්තන්ද මේ විෂයයෙහි වටිනාකම තේරුම් ගත් බැවිනි. එහෙත් අපේ රටේ කරුමයට සෑම තැනකටම පාලකයින් පත්වන්නේ කැමැත්ත පමණක් ජයගන්නා සත්‍යය පරාජය වන ඡන්ද ක්‍රමයක් හරහාය. ජාතික ඔලිම්පික් කමිටුව යනු මෙරටම පවතිනා ක්‍රීඩා පරිපාලන ක්‍රමයේ එක් හරස් කඩක් පමණි.

සිරිනාම රාජපක්ෂ.