තුරුම්පු නැතිව දසුන් ඉන්දියාවත් සමග හැප්පෙයි

අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව නිරතුරුවම අභියෝගයක් බැවින් ඉන්දියාවට එරෙහිව අද (24) ඇරඹෙන විස්සයි20 තරගාවලියේ අභියෝගයට සාර්ථකව මුහුණදීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් නායක දසුන් ශානක ප්‍රකාශ කළේය. අද ඇරඹෙන තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – ඉන්දීය විස්සයි20 තරගාවලියේ පළමු තරගය පිළිබඳ  දසුන් ශානක කීවේය.

ඔස්ට්‍රේලියානු සංචාරය නිමාවීමෙන් පසු පෙරේදා ඉන්දියාවට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියට පෙර තවත් අභියෝග කිහිපයකට මුහුණ දීමට සිදු වී තිබේ. ශ්‍රී ලංකා පිලේ ප්‍රබලතම තුරුම්පුවක් වන වනිඳු හසරංග අවසන් මොහොතේ ඔස්ට්‍රේලියාවේදී සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණයෙන් අසමත්වීම හේතුවෙන් ඔහුට තවදුරටත් මෙල්බර්න් නුවර රැඳී සිටීමට සිදු වී තිබිණි. ඔහු පසුගිය 15 වැනිදා කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ අතර, ඉන්දියාවට පැමිණිමට පෙර සිදු කළ ඇන්ටිජන් සහ පීසීආර් පරීක්ෂණ යළි පොසිටිව් වීම නිසා ඔහුට තව දුරටත් එරට රැඳී සිටීමට සිදු වී ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේය. ඒ අනුව කැන්බරා නුවර සිට මෙල්බර්න් නුවරට ගෙන්වූ ඔහු දැනට නිරෝධානය කාලසීමාවක් ගත කරමින් සිටියි.

“වනිඳු ඉක්මනින්ම කණ්ඩායමට එක් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔහුගේ අඩුව කණ්ඩායමට බලපෑමක් වුණත් ඒ වෙනුවට ආදේශක ක්‍රීඩකයන් අප සතුව සිටිනවා.” දසුන් ශානක කියා සිටියේය.

එමෙන්ම ඉන්දියාවට පැමිණි ශ්‍රී ලංකා පිලේ තවත් ප්‍රබල පිතිකරුවකු වන කුසල් මෙන්ඩිස් සහ මහීෂ් තීක්ෂණ ද ආබාධවලට ලක්ව සිටින අතර, ඔවුන්ගේ ආබාධ පිළිබඳ සිදු කළ එම්ආර්අයි ස්කෑන් පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වනතුරු අවසන් නිගමනයකට පැමිණිය නොහැකි බව ශ්‍රී ලංකා පිලේ නායකයා පැවසීය. ඔස්ට්‍රේලියාවේදී ආබාධවලට ලක්වීම හේතුවෙන් අවිශ්ක ප්‍රනාන්දු, නුවන් තුෂාර සහ රමේෂ් මෙන්ඩිස් ඉන්දීය සංචාරයට එක් නොවූහ.

කෙසේ වුවත් නායකයා ලෙස තම මානසිකත්වය සහ කණ්ඩායමේ මානසිකත්වය ඉහළ මට්ටමක තිබෙන බව දසුන් කීවේය. “තරග කිහිපයක් පරාජය වුණත් ඔස්ට්‍රේලියානු තරගාවලියට අපි හොඳින් මුහුණ දුන්නා. දක්ෂතා දැක්වුවා. විශේෂයෙන් පන්දු යවන්නන් දස්කම් අතර හිටියා. ආබාධවලට ලක්වීම අපිට පාලනය කරන්න බැහැ. ඉන්න අයගෙන් හොඳ තරගයක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.” ඔහු සඳහන් කළේය.

“ඕනෑම තණතීරුවකට ඉක්මනින් හැඩ ගැසීමට ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්ට ඉහළ හැකියාවක් තියෙනවා. ජනිත් ලියනගේ, කමිල් මිෂාර, අෂේන් ඩැනියෙල් හා ශිරාන් ප්‍රනාන්දු වැනි ක්‍රීඩකයන් එල්පීඑල් තරග බිමේ දස්කම් දැක්වූ අය. අපිට ඔස්ට්‍රේලියානු සංචාරයෙන් ලැබුණු අත්දැකීම් තුළින් අපේ පිතිකරුවන් හොඳින් ක්‍රීඩා කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.” ඔහු කීවේය.

පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් පිල තරග 3-0කින් පරාජය කරමින් විස්සයි20 අයිසීසී ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගත් ඉන්දියාව මේ දක්වා දෙපිල අතර පැවති තරග 21ක් අතරින් තරග 14කදී ශ්‍රී ලංකා පිල පරාජයට පත් කළ අතර, අවසන් වරට පසුගිය වසරේ ජූලි මස ශ්‍රී ලංකාවේ පැවැති විස්සයි20 තරගාවලියෙන් 2-1කින් ඉන්දියාව පරාජය කළ ශ්‍රී ලංකා පිල මේ දක්වා ඉන්දියාවට එරෙහිව තරග 7ක් ජයගෙන තිබේ. තවත් තරගයක් විසඳුමකින් තොරව නිමාවට වී ඇත.

කොදෙව් පිලට එරෙහිව දස්කම් දැක්වූ ඉන්දීය පිලේ ප්‍රබල ක්‍රීඩකයන් වන සූර්යකුමාර් යදෙව් සහ දීපාක් චාහර් ආබාධ හේතුවෙන් මේ තරගාවලියට ඇතුළත් නොවේ. එමෙන්ම තවත් ප්‍රබල ක්‍රීඩකයකු වන රිෂාබ් පාන්ට් සහ සුපිරි පිතිකරු විරාට් කෝලි විවේක ගන්වා තිබේ. එබැවින් රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුතු ඉන්දීය පිලට ප්‍රබල ක්‍රීඩකයෝ රැසක් ඇතුළත් වෙති.

අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00ට ලක්නව් නුවරදී ආරම්භ වේ.

ඉන්දීය සංචිතය:

රෝහිත් ශර්මා (නායක), රුතුරාජ් ගයික්වාඩ්, ශ්‍රෙයාස් අයියර්, සංජු සැම්සන්, ඉෂාන් කිෂාන්, වෙන්කටේෂ් අයියර්, දීපක් හූඩා, රවින්ද්‍ර ජඩේජා, යුස්වෙන්ද්‍ර චාහල්, රවි බිෂ්නෝයි, කුල්දීප් යාදව්, මොහොමඩ් සිරාජ්, බුවනේෂ්වර් කුමාර්, හර්ෂාල් පටෙල්, ජස්ප්‍රීට් බුම්රා, අයේෂ් ඛාන්.

ශ්‍රී ලංකා සංචිතය:

දසුන් ශානක (නායක),

චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, චාමික කරුණාරත්න, ජනිත් ලියනගේ, කමිල් මිෂාර, ළහිරු කුමාර, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩේසේ, ප්‍රවීන් ජයවික්‍රම, ශිරාන් ප්‍රනාන්දු.