ගල් අගුරු ගැහිල්ල කෝටි 53 ක් මාට්ටු වෙයි

ගල්අඟුරු මිලදී ගැනීමට සමාගමකට ගෙවූ බව කියන රුපියල් කෝටි පනස්තුනකට අධික මුදලක් කිසියම් පිරිසක් විසින් යටිමඩි ගසාගෙන ඇතැයි රජයේ විගණන නිලධාරීහු හෙළිකර සිටිති.

මීට වසර හතකට පමණ පෙරාතුව මෙම ගනුදෙනුව සිදුව ඇත්තේ නොරොච්චෝල, ලක්විජය ගල්අඟුරු බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමකදීය. මේ සම්බන්ධයෙන් රජයේ විගණනයේදී තොරතුරු හෙළිවී ඇති අතර මේ සම්බන්ධව වාර්ෂික විගණන වාර්තාවේද සඳහන් කර ඇත.

මීට වසර හතකට පෙර මෙරටට ගෙන්වූ ගල්අඟුරු තොගයක් වෙනුවෙන් එකී සමාගමට මුළු වටිනාකමට අදාළ සම්පූර්ණ මුදල ගෙවා තිබුණත් රුපියල් කෝටි 53 (මිලියන 539.19) ක වටිනාකමින් යුත් ගල්අඟුරු ප‍්‍රමාණයක් එම තොගයේ තිබී නැත.

මේ සම්බන්ධයෙන් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණනයේදී තොරතුරු හෙළි වූ පසු අදාළ සමාගමෙන් එම හිඟ ගල්අඟුරු ලබා ගැනීමට හෝ එම රුපියල් කෝටි 53ක මුදල අයකර ගැනීමට බේරුම්කරණ ක‍්‍රමයකට යෑමට ලංකා ගල්අඟුරු සමාගම පියවර ගෙන තිබිණි.

නමුත් 2015 සිට මේ දක්වාම එම මුදල හෝ හිඟ ගල්අඟුරු ලබා ගැනීමට ලංකා ගල්අඟුරු සමාගම අපොහොසත් වී ඇතැයි විගණන නිලධාරීහු පවසති. වසර හතක කාලයක් ඉක්ම ගියත් මෙම මුදල් අයකර ගැනීමට ලංකා ගල්අඟුරු සමාගම අපොහොසත් වී ඇත්තේ එම මුදල කිසියම් නිලධාරියකුගේ සාක්කුවට යාම නිසාදැයි බරපතළ සැකයක් මතුවී ඇතැයි ද විගණන නිලධාරීහු කියා සිටිති.

මේ ආකාරයට වසර හතක කාලයක් පුරා එකී කෝටි 53ක මුදල අයකර ගැනීමට නොහැකි වී යෑමෙන් සිදුවන්නේ එම මුදල අයකර ගත හැකි කාලය අවසන් වී යෑම යැයි ද විගණන නිලධාරීහු කියා සිටිති.

මේ සම්බන්ධයෙන් ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ජගත් පෙරේරා මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ එය බේරුම්කරණ ක‍්‍රමයක් හරහා අයකර ගැනීමට හෝ ගල්අඟුරු මිලදී ගැනීමට අදාළ කටයුතු සිදුකරන බවයි. නමුත් වසර හතක් තිස්සේ රුපියල් කෝටි 53ක මුදලක් රටට අහිමිව යෑම පිළිබඳ ඊට එහා යමක් කීමට බැරි යැයි ද ඒ මහතා කීය.

ශිරාන් රණසිංහ