ඉන්දියාව පස්වැනි වරටත් යොවුන් ලෝක කුසලාන දිනයි

යොවුන් ක්‍රිකට් ලෝක ශූරයන් තෝරන අවසන් මහා සටනේදී එංගලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 4 ක ජයක් ලැබූ ඉන්දියාව පස්වැනි වරටත් යොවුන් ක්‍රිකට් ලෝක ශූරතාව දිනා ගැනීමට සමත් විය. මෙම තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වුණි.
නෝත් සවුන්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේදී පළමුව පිති ප්‍රහාරය දියත් කළ එංගලන්ත කණ්ඩායම ලකුණු 195 කට දැවී ගියේය. එහිදී එංගලන්ත ඉනිම ඔසවා තැබු ජේම්ස් රිව් පන්දු 116 කදී හතරේ පහර 12 ක් සමග ලකුණු 95 ක් ලබා ගත්තද සෙසු පිතිකරුවන්ගේ නීරස ප්‍රහාරය හමුවේ ඔවුන්ට සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට නොහැකි විය.
කෙසේ වෙතත් ඉන්දියානු කණ්ඩායම අදාළ ඉලක්කය පන්දු 14 ක් සහ කඩුලු 4 ක් අතැතිව ලබා ගනිද්දී ෂයික් රසිඩ් සහ නිශාන්ට් සින්දු අර්ධ ශතක වාර්තා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණයට ඔසවා තැබීමට සමත් විය. තරගයේ වීරයා වශයෙන් ඉන්දියානු ක්‍රීඩක රාජ් බාවා සම්මාන ලැබීය.
මෙම අවසන් මහා තරගයේ තීරකවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ ග්‍රැහැම් ලැබ්බ්‍රෝයි කටයුතු කළේය.
ලකුණු තත්ත්වය
එංගලන්තය පන්දුවාර 44.5 කදී සියල්ල දැවී ලකුණු 189යි (ජෝජ් තෝමස් 27, ජේම්ස් රිව් 95, ජේම් සේල්ස් 34, රවී කුමාර් 34/4, රාජ් බාවා 31/5 යි.)
ඉන්දියාව පන්දුවාර 47.4 කදී කඩුලු 6ට ලකුණු 195 යි .(හර්නෝර් සිංග් 21, ෂයික් රෂීඩ් 50, නිශාන්ඩ් සින්දු 50, රාජ් බාවා 35, බොයිඩන් 24/2, ජේම්ස් සේල්ස් 51/2 යි.)